ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය: සත්කාරකයන්ට මුල් තැන දෙමින් මුල්ම තරගය අද මුල්තාන් හිදී

264

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක පකිස්තානය අද (30 වැනිදා) මුල්තාන් හිදී නේපාලය සමග තරග වැදීමට නියමිතය.

දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3 ට ආරම්භ වීමට නියමිත අතර ලොව අංක එකේ එක්දින පිතිකරු වන බාබර් අසාම් පකිස්තාන කණ්ඩායම මෙහෙයවයි.

පළමු වරට ආසියානු කුසලාන තරගාවලියකට එක්වන නේපාල කණ්ඩායමේ නායකත්වය 20 හැවිරිදි රෝහිත් පවුඩෙල් විසින් දරනු ලබයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානය හිමි කණ්ඩායම ලෙස පකිස්තානය අද තරග බිමට පිවිසෙන අතර නේපාලය එම ශ්‍රේණිගත කිරීම් හි 15 වැනි ස්ථානයේ රැඳී සිටී.

නායක බාබර් අසාම් හොඳම එක්දින පිතිකරුවා ලෙස ශ්‍රේණිගත ව සිටියදී එම ශ්‍රේණිගත කිරීම් හි පළමු පිතිකරුවන් 5 දෙනාගෙන් තවත් දෙදෙනෙක් ම පකිස්තානය සතු වේ.

ඒ අනුව එහි තෙවන ස්ථානය ආරම්භක පිතිකරු ඉමාම් උල් හක්ට ද, පස්වැනි ස්ථානය ෆකාර් සමාන්ට ද හිමි වී ඇත.

පාකිස්තානය වත්මන් ආසියානු අනුශූරයන් ලෙස තරගාවලියට එක්වන අතර ඔවුහු දෙවරක් ආසියානු ශූරයෝ ලෙස කිරුළු දරා සිටිති.

ආසියානු කුසලාන තරග බිමේ 14 වැනි තරගාවලිය ලෙස මෙවර තරගාවලිය පැවැත්වේ.

මෙවර තරගාවලියේ සත්කාරක අයිතිය පාකිස්තානය සතු වුවද ඉන්දියාව පාකිස්තානයේ තරග වැදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තරගාවලියේ නියමිත තරග 13 න් තරග 9 ක්ම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

පාකිස්තානයේ පැවැත්වෙන අනෙක් තරග 3 ම ලාහෝර් හිදී පැවැත්වීමට නියමිත අතර පාකිස්ථානය සහ නේපාලයට අමතරව ‘ඒ’ කාණ්ඩය යටතේ ඉන්දියාව තරගාවලියට එක් වේ.

ඔවුන් ආසියානු ශූරතාවය 6 වතාවක් ජයග්‍රහණය කර වැඩිම අවස්ථා ගණනක් ආසියානු ශූරයන් වූ රට බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය ‘බී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වන අතර එම කාණ්ඩයේ ශූරතාව දිනූ එකම කණ්ඩායම ලෙස සහ පසුගිය වර ශූරයන් වූ කණ්ඩායම ලෙස ද ශ්‍රී ලංකාව තරගාවලියට එක් වේ.

ශ්‍රී ලංකාව 5 වතාවක් ආසියානු ක්‍රිකට් කුසලාන හිමි කරගෙන ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment