මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අද

246

මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අති අලංකාරවත් ලෙස අද (30දා) රාත්‍රී වීථි සංචාරය කිරීමට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ඇතුළු සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් සැලසුම් කර තිබේ.

අද රාත්‍රි පෙරහැරේ දර්ශනීය ඇඳුමෙන් සරසන ලද අලි ඇතුන් 100ක් පමණ ගමන් කරවීමටත් නර්තන ශිල්පීන් වැඩිම පිරිසක් විවිධ නර්තන කලාවන් ඉදිරිපත් කිරීමටත් පියවර ගෙන ඇත.

ශ්‍රී දළදා මාලිගාවේ සධාතුක කරඬුව වැඩම කරවන රාජා ඇතා දර්ශනීය වස්ත්‍රයෙන් සැරසී උඩට උඩුවියන් සහ යටට පාවඩ මත ගමන් කරවීමට ද පියවර ගෙන තිබේ. නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි දේවාලයන්හි බස්නායක නිලමේවරුන්ද දිනට ගැළපෙන පරිදි නිල ඇඳුමෙන් සැරසී ශෝභාමත් ලෙස පෙරහැරේ ගමන් කිරීමට සැලසුම් කර තිබේ.

අද රාත්‍රී අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට දෙස් විදෙස් විශාල පිරිසක් මහනුවර නගරයේ පෙරහැර මාර්ගය දෙපස රැඳී සිටිනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

අද රාත්‍රී 7.03 ට යෙදෙන සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් උතුරු දිසාව බලා ගමන් අරඹන ඇසළ පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ගෙවැදීමට නියමිත බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් නිවේදනය කර තිබේ. පෙරහැර ගෙවැදීමෙන් පසු රාත්‍රී 2.39 ට පෙරහැර කරඬුව රැගත් දළදා මාලිගාවේ පෙරහැර සහ සිව් මහා දේවාලයන්හි පෙරහැර, කරඬුව තැන්පත් කිරීම සඳහා අස්ගිරිය ගෙඩි විහාරය වෙත ගමන් කරයි. කරඬුව එහි තැන්පත් කිරීමෙන් පසුව සිව් මහා දේවාලයන්හි පෙරහැර ඒ ඒ දේවාලයහිදී දේවපූජා පවත්වා අලුයම් වේලේ දිය කැපුම් මංගල්‍යය සඳහා මහවැලි ගඟේ ගැටඹේ තොට කරා ගමන් කරයි. දියකැපුම් මංගල්‍යය සිදු කිරීමෙන් පසු දින (31දා) ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර ද සමග දවල් පෙරහැර වීථි සංචාරය කරයි.

දිවා පෙරහැර නිමාවත් සමග දියවඩන නිලමේ සහ බස්නායක නිලමේවරු මෙවර පෙරහැර සාර්ථක ලෙස පවත්වා අවසන් කළ බව සඳහන් පෙරහැර සංදේශය සම්ප්‍රදායානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීමට මහනුවර ජනාධිපති මන්දිරය වෙත පෙරහැරෙන් ගමන් කරති.

සිරිල් විමලසුරේන්ද්‍ර, සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment