මනුවෙන් සෙල්ලම් දාන විදුලිබලේ ගැහිල්ල

553

මනු කියවන්න එක ගාණකුත් ‘නිවැරැදිව’ මනු කියවන්න තවත් දීමනාවකුත් ගෙවලා

ශ්‍රී ලංකාව මෑත කාලීන ඉතිහාසයේ කවදාවත් නොවූ තරම් වන දුෂ්කරම ආර්ථික කඩඉමක් පසු කරමින් සිටියි. ඉන්ධන ගෑස්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය ලබා ගැනීම සඳහා මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ සපයා ගැනීම සඳහාත් මේ වන විට රටේ ආර්ථිකය හරස් වී හමාරය. තවමත් ගමින් ගමට නගරයෙන් නගරයට දිගු පෝලිම් නිර්මාණය වෙමින් පවතී. මේ අතර එදා වේලවත් සපයා ගත නොහැකි මිනිසුන් කවදා කෙදිනක මේ ප්‍රශ්නය විසඳේදැයි පාලකයන්ගෙන් ප්‍රශ්න කරයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ ආහාර ද්‍රව්‍යය පිළිබඳව මෙන්ම විදුලිය වැනි අත්‍යවශ්‍ය සේවාවන් සම්බන්ධයෙන්ද දැන් ඇත්තේ බරපතළ ගැටලුවකි. තවමත් දිනකට පැය දෙකහමාරකට තුනකට ආසන්න කාලයක් විදුලිය කප්පාදු කරයි. අධ්‍යාපන සෞඛ්‍ය,ගමනාගමන ආදී සියලුම ක්‍ෂේත්‍රයන් වෙත පැය ගණන් සිදුවන විදුලි කප්පාදුව සෘජුව මෙන්ම වක්‍රව ද බලපෑම් එල්ල කරනු ලබයි. පැය ගණනාවක් පුරා සිදුවන විදුලි කප්පාදුව නිසා බොහෝ ක්ෂේත්‍රයන් මේ වන විටත් කඩා වැටී අවසන්ය.

පසුගිය කාල වකවානුව තුළ වර්ෂාපතනය ලැබීම නිසා ජල විදුලිය සපයා ගැනීමට යම් පහසුවක් සැලසුනද ඉන්ධන සහ ගල් අඟුරු සපයා ගැනීමට ඇති දුෂ්කරතාව නිසා ඉදිරියේදී විදුලිය කප්පාදු කිරීමේ කාල සීමාව තවත් දිගු වේ යැයි බොහෝ අංශයන් අනතුරු අඟවයි. එමෙන්ම විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ගල්අඟුරු තොග පවතින්නේ සැප්තැම්බර් මාසයේ දෙවැනි සතිය දක්වා පමණක් බවත් ඉන් ඉදිරියට අවශ්‍ය ගල්අඟුරු තොග මිලදී නොගතහොත් එළැඹෙන වසරේ දැඩි විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇති බවත් මහජන උපයෝගිතා කොමිසම පෙන්වා දෙයි. එහි සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ සැප්තැම්බර් සිට අප්‍රේල් මාසය දක්වා අවශ්‍ය ගල්අඟුරු ගෙන්වාගත යුතුව ඇති බවත් ඒ සඳහා ඩොලර් මිලියන 600 ක් පමණ වැය කිරීමට සිදු වනු ඇති බවත් ය.

රටේ දෛනික අවශ්‍යතාව සඳහා විදුලි උත්පාදනය කිරීම පවා අර්බුදයකට ලක්ව ඇති මොහොතක ලංකා විදුලිබල මණ්ඩලය පිළිබඳව පසුගිය දිනයක වාර්තා වුණේ ඇස් අදහාගත නොහැකි ප්‍රවෘත්තියකි. ජනතාවගේ මූලික අවශ්‍යතාවත් සම්පූර්ණ කරන්නට ප්‍රමාණවත් තරම් මුදල් නොමැති කාල වකවානුවක 2020 සහ 2021 වර්ෂවලදී පමණක් ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සඳහා විවිධ දීමනා වශයෙන් රුපියල් කෝටි 367 කට වැඩි මුදලක් ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වෙයි. පසුගිය විසි දෙවැනිදා ලංකා විදුලිබල මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව රැස්වූ අවස්ථාවේ දී මෙම තොරතුරු අනාවරණය විය.

● ගෙවීම් කළ නිර්ණායක විහිළු සහගතයි

විවිධ කාර්ය මණ්ඩල දීමනා ලෙස 2021 වර්ෂය දී රුපියල් මිලියන 2,134.9ක් සහ 2020 වර්ෂයේ දී රුපියල් මිලියන 1,544.4ක් ලබා දී ඇති බවට කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පෙන්වා දෙයි. එසේම මෙම දීමනා ගෙවීම සඳහා යොදාගෙන ඇති ඇතැම් කාණ්ඩ විහිළු සහගත බවද සභාපතිවරයා පවසයි. මනු කියවීමට අමතරව නිවැරදිව මනු කියවීම ලෙස දීමනාවක් ද ලබාදී ඇති බව මෙහිදී අනාවරණය විය.

● වියදම් අහස උසට

ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂික වියදම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලු බදු මගින් බලාපොරොත්තු වන ආදායම ද ඉක්මවා ගොස් ය. වැටුප් සංශෝධන කරන අවස්ථාවකදී 2007 දෙසැම්බර් මාසයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය සහ 2015 මැයි මස සාමූහික ගිවිසුමකට එළඹුන විට උපයන විට ගෙවන බදු (PAYE), අත්තිකාරම් පුද්ගල ආදායම් බදු (APIT) වගකීම සේවකයන් වෙත මාරු කිරීමට තීරණය කර තිබුණි. නමුත් ඊට පටහැනිව 2010 සිට 2020 වර්ෂය දක්වා අදාළ සේවකයන්ගේ වැටුපෙන් අඩු නොකර ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය අරමුදලෙන් රුපියල් බිලියන 4.8 ක බදු ගෙවා තිබුණි. කෙසේ වෙතත් මේ වන විට මෙම බදු ගෙවීම් නවත්වා ඇති බව කෝප් කමිටුවට පැමිණ සිටි නිලධාරීහු පෙන්වා දුන්හ.

● පඩි වැඩි කළ ලියවිල්ලත් අනීතිකයි

කෙටුම්පත් සාමූහික ගිවිසුම මත පදනම්ව 2021 වර්ෂයේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් සේවක වැටුප් සියයට 25 කින් වැඩි කර තිබූ නමුත් අදාළ පාර්ශ්වයන් සේවා යෝජකයන් සහ සේවක සංගම් විසින් මෙම කෙටුම්පත අත්සන් කර තිබුණේ නැත. එලෙස අත්සන් නොකිරීම නිසා මෙම සාමූහික ගිවිසුම අවසන් නොකළ කෙටුම්පත් ගිවිසුමක් ලෙස සලකනු ලබයි. ඒ නිසා එම ලියවිල්ල නීත්‍යනුකූල නොවන බවද අනාවරණය වී ඇත. ඒ අනුව මෙම අනවසර ගෙවීම හේතුවෙන් මණ්ඩලයට සිදු වූ අලාභය දළ වශයෙන් රුපියල් බිලියන නමයයි දශම හයකි.

ලංකා ගල් අඟුරු සමාගම (LCC) හරහා සීමාසහිත කොරියන් යකඩ හා වානේ සමාගම වෙතින් 2013 වර්ෂයේදී මිලදීගත් ගල්අඟුරු තොගයක් වාරකන් බලපෑම නිසා ගොඩබෑමට නොහැකිවීම පිළිබඳව ද, දිගුකාලීන ජනන සැලැස්මකට අනුව සැලසුම්කර ඇති වාර්ෂික නව විදුලි ජනනය විවිධ බලාගාර වලින් සහ විවිධ බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම පිළිබඳවද කෝප් කමිටුවේ දී වැඩි දුරටත් සාකච්ඡාවට ගෙන ඇත.

කෙසේ වෙතත් මෙම අනවසර ගෙවීම් හේතුවෙන් මණ්ඩලයට සිදු වූ අහිතකර බලපෑම දළ වශයෙන් රුපියල් බිලියන 9.6 බව කෝප් කමිටුව පෙන්වා දෙයි. රට ආර්ථික වශයෙන් අර්බුද රාශියකට මුහුණ දී සිටින අවස්ථාවක මෙවැනි තත්ත්වයන් ඇතිවීම රට පැත්තෙන් විශාල ගැටලුවක් බව කෝප් කමිටු සභාපති චරිත හේරත් මහතා අවධාරණය කරයි. එසේම මෙවැනි තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කිරීමේදී ලංකා විදුලිබල මණ්ඩලය වැනි ආයතන ගැටුම් හිමි නැති ස්වරූපයක් දිස් වන බවද ඒ මහතා කියා සිටියි.

“විදුලිබල මණ්ඩලය මේ විදිහට විනාශ කරලා තියෙන්නේ රටේ සාමාන්‍ය ජනතාවගේ මුදල්. මේ හැමදේම කරලා තියෙන්නේ කිසිම අනුමැතියක් නැතිව. ඒත් මේ ගැන හොයල බලන්න විශේෂ කාරක සභාවක් පත්කරන්න කථානායකවරයාට සහ පාර්ලිමේන්තුවට මම යෝජනා කරනවා” ලෙස කෝප් සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් පවා නිසි ආකාරයෙන් නොලැබෙන වටපිටාවක, එදා වේල අමාරුවෙන් පිරිමහ ගත් මිනිසුන් කර කියා ගන්නට දෙයක් නොමැතිව බලා සිටිද්දී එක් ආයතනයක සේවකයන් ට පමණක් මෙවැනි දීමනා ලැබීම කොයිතරම් දුරට යුක්ති සහගත ද යන්න පිළිබඳව වගකිව යුතු බලධාරීන් මීට වඩා සැලකිල්ලෙන් සොයා බැලිය යුතුව ඇත. අත්‍යවශ්‍ය සියලු දේ වෙනුවෙන්ම පෝලිම්වල කාලය ගත කරන, පෝලිම්වලම මියැදෙන, ආහාර අර්බුදයකට පවා විසඳුම් සෙවීමට මිනිසාට සිදුව ඇති අවස්ථාවක වගකිවයුතු රාජ්‍ය ආයතනයක ක්‍රියාකාරීත්වය මෙලෙසින් ප්‍රදර්ශනය වීම සැබෑවටම කනගාටුවට කාරණාවකි.

කුමාරි ඉරුගල්බංඩාර

advertistmentadvertistment
advertistmentadvertistment