වරුෂවිතාන උපුල් තරංග හෙවත් උපුල් තරංග ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තැනක් වෙන් කර ගත්තේ මීට වසර 18 කට උඩදීය. ඔහුගේ ජාතික කණ්ඩායමේ සේවය වසර 14 කි. ඒ අතරතුර ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට්, එක් දින සහ පන්දු වාර විස්සයි විස්ස යන සෑම අංශයකම ක්‍රිකට් නියෝජනය කළේය.

14 වසරක් ක්‍රිකට් පිටියේ හිටියද ඔහු එතරම් කැපී පෙනෙන්නට වෙර දැරූ චරිතයක් නොවිණි. බොහෝ විට හිස නමාගෙන පිටියට එන තරංග හිස එසවූයේ දුර්වල පන්දුවකට පමණි. එහෙම බිම බලාගෙන සිටි තරංග 2019 වසරේ තම ජාතික කර්තව්‍යය නිම කළේය. ඉන් පසුව ඔහු නොයෙක් ලීග් තරග සහ දේශීය තරග ක්‍රීඩා කරමින් පසු වූයේය.

එහෙම සිටි තරංගගේ නම යළි ඉහළට එසවූයේ නව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දුය. පසුගිය සඳුදා පාර්ලිමේන්තුවේදී ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. ඒ තරංග පිළිබඳවද සඳහන් කරමිනි. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ධුරය සඳහා උපුල් තරංග පත් කරන බව ඔහු එදා කීවේය.

වරුෂවිතාන උපුල් තරංගගේ නම සඳහන් කරමින් ඇමැති හරීන් එදා කළ ප්‍රකාශයත් සමග මෙරට ජන සමාජයේ කතා වරුසාවක් ඇති විය.

එහිදී ප්‍රධාන වශයෙන්ම කියවුණේ තරංග තවමත් එන්සීසී ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයෙකු ලෙසින් සිටින නිසා ඔහු වැන්නකු තේරීම් කමිටු සභාපති ධුරයට පත් කිරීම එතරම් සුදුසු නැති බවයි. 2016.10.27 වැනි දින අංක 1990/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ රෙගුලාසි 5(4) සහ 2017.02.23 දින අංක 2016.13 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව වත්මන් ක්‍රීඩකයෙක්ට හෝ සක්‍රීය පුහුණුකරුවෙක් හට තේරීම් කමිටුවක සාමාජිකයකු වීමට නොහැකි බව සඳහන් එකී ගැසට් පත්‍ර එළියට දමමින්ම ඇතැමෙක් ඝෝෂා කළහ. ඒ අනුව මෙම අන්තර් සමාජ තරග වාරයේදී එන්.සී.සී ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරග 5ක් ක්‍රීඩා කර සිටින උපුල් තරංග හට එවැනි තනතුරක් දැරීම අකැප බවද ඔවුහු කීහ. එසේම උපුල් තරංගගේ සහාය සඳහා පත් කරන බව ප්‍රකාශ වූ සෙසු සාමාජිකයන් පිළිබඳවද නොයෙක් මතවාද ඇතිවිය. ඉහත කී ගැසට් පත්‍රිකා අනුව තම නුසුදුසුකම පෙන්වූ එම සාමාජිකයන් ඊටත් එහා ගිය නුසුදුසුකම් ද ඇතැම් විට පෙන්වා තිබුණි. ඒවා අයිසීසීය දක්වා දිවගිය ප්‍රශ්නද විය. එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධානයන්ට අනුව මෙලෙස තේරීම් කමිටුව සඳහා යෝජිත නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය වෙත යවා අනුමැතියක් ලබා ගැනීමද කළ යුත්තකි.

තරුණ කණ්ඩායමක් වෙනුවට තරුණ තේරීම් කමිටුවක්

ඒ කෙසේ වෙතත් තවමත් හිටපු තේරීම් කමිටුවද අහෝසි වී නොමැත. එම තේරීම් කමිටුවේ සභාපතිවරයා වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වෙතද තවමත් ඔහුව එම තනතුරෙන් ඉවත් කළ බවට දැනුම් දීමක් කර නොමැත.

හිටපු තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු කමිටුව කටයුතු කළේ නවකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් නිර්මාණය කිරීම අරමුණු කරගෙනය. දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වූයේද ඒ අනුවය. දසුන්ගේ පිරිවර එතරම් වයස සහ අත්දැකීම් සපිරූවෝ නොවූහ. එහෙත් ළඟ නොබලා දුර බලා පත් කළ කණ්ඩායමක් ලෙස එවකට ක්‍රීඩා කළ කණ්ඩායම සැලකිය හැක. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන වශයෙන් සහභාගි වූ තරගාවලි කීපයේදී එම තරුණ ප්‍රතිපත්තියද බිඳ දමන්නට ක්‍රිකට් තේරීම් නිලධාරීන්ට සිදුවිය. 2022 ආසියානු කුසලානය ජයග්‍රහණය කළද ඒ තරුණ කණ්ඩායම අනතුරුව හොඳින් දස්කම් අතරට නොපැමිණීම මත කරුණු දක්වන්නට සිදු වූයේ තේරීම් කමිටුවට සහ ක්‍රිකට් බලධාරීන්ටය. හිස මත තබාගෙන සිටි තරුණ ප්‍රතිපත්තියද පරාජයන්ගෙන් ඇති වූ පීඩනය සහ බලපෑම මත බිමට තබා ජ්‍යෙෂ්ඨයෝද කණ්ඩායමට කැඳවන්නට යළි තේරීම් කමිටුවට සිදුවිය.

සුදු පන්දුවේ තරගවලදී කණ්ඩායමේ තැනක් අහිමිව සිටි දිමුත් කරුණාරත්න, ඇංජලෝ මැතිව්ස් වැනි ජ්‍යෙෂ්ඨයන් යළි කණ්ඩායමට පැමිණියේ ඒ හරහාය. එහෙත් ඔවුන්ගෙන්ද සිදුවූ දෙයක් අන්තිමට නොමැති විය. තේරීම් කමිටුවේ ප්‍රතිපත්තිය බිඳී, ප්‍රේක්ෂකයන්ගේ සිත් රිදී යෑම පමණක් ඉතුරු විය. හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහගේ සමයේ අවසාන කාලයේ සිදුවූ මේ දේවල්වලින් අනතුරුව හරීන් ප්‍රනාන්දු නව ක්‍රීඩා ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඒ අනුව බලන කල ඇතැමෙක්ට මෙහෙම සිතෙන්නට පුළුවන. එකල තරුණ කණ්ඩායමක් හැදීම මූලික අරමුණ වුවද දැන් ඒ අරමුණ ඉවත් වී තරුණ කණ්ඩායමක් වෙනුවට තරුණ තේරීම් කමිටුවක් හදන්නට නව ක්‍රීඩා ඇමැති අතතියා ඇති ද යන්නයි.

එසේ කියන්නේ උපුල් තරංග තවමත් වයස අවුරුදු 38 ක් තරම් වන තරුණයකු නිසාය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් තරංග සමග එදා ආරම්භක පිතිකරුවන් ලෙස පැමිණි සනත් ජයසූරිය සහ ටී. එම්. ඩිල්ෂාන් දෙදෙනා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත්තේ අවුරුදු 40 ද ඉක්මවා ය. ඒ අතරින් සනත් තම අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරන විට ඔහුගේ වයස අවුරුදු 41 යි දවස් 363 දීය. ඒ කියන්නේ සනත්ගේ 42 වැනි ජන්ම දිනයට දින දෙකක් මෙපිටින්ය.

එසේ බැලුවහොත් සනත් තරම්ම කාලයක් උපුල් තරංග ද ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා නම් උපුල් තවත් වසර හතරක් පමණ කණ්ඩායමේ සිටිය යුතුය. එසේ තවදුරටත් කණ්ඩායමේ නොසිටි උපුල් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව දේශීය සහ ලීග් තරග සඳහා එක් වූයේය. එහෙත් ඇමැති හරීන් කියන පරිදි උපුල් තව නොබෝ දිනකින් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා වේ. එසේ වීමට අවශ්‍ය නම් රෙගුලාසි සහ ගැසට් නිවේදන අනුගමනය කරන්නේ නම් උපුල් දැන් කළ යුත්තේ මේ දේශීය තරගවලින් ඉවත්වීමය.

පකිස්තානයේ ආදර්ශය?

මේ ආකාරයෙන්ම පකිස්ථානයේද ක්‍රිකට් තේරීම් කමිටුව වෙනස් විය. අලුත් විය. තරුණ විය. පසුගිය ලෝක කුසලාන තරගාවලිය සඳහා එකල අංක එකේ කණ්ඩායම ලෙස සහභාගි වූ පාකිස්තානයට එවර අවසන් පූර්ව තරග සඳහාවත් සුදුසුකම් ලැබීමට නොහැකි වූ කල තේරීම් කමිටුව ඉවත් වූයේය. එහි සභාපතිවරයා වූ ඉන්සමාම් උල් හක් තරගාවලිය අතරතුරම සිය ධුරයෙන් ඉවත් වූයේ පරීක්ෂණ කිහිපයක් සඳහා ඉඩ හසර වෙන්කර දෙමිනි. අනතුරුව පත් වූයේ නවක තේරීම් කමිටුවකි. එහි සභාපතිවරයා ද 38 හැවිරිදිය. ඒ වේග පන්දු යැවූ ක්‍රීඩක වහාබ් රියාස් වේ. සල්මන් බට්, කම්රන් අක්මාල් වැන්නෝ එහි සෙසු සාමාජිකයෝය. ඔවුහුද තරුණයෝ වෙති. 2009 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ පකිස්තානය ලෝක ශූරතාව දිනන විට ඔවුහු එම කණ්ඩායමේ සාමාජිකයෝ වූහ. ඒ නිසා ඇමැති හරින් තරංග දෙස හැරුණේ පකිස්තානය දෙස බලා ද යැයි හැඟේ.

10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වන විටත් 10 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඇමැතිවරයා වෙත යොමු කර ඇත. ඒ නව තේරීම් කමිටුව තෝරා ගැනීම සඳහාය. උපුල් තරංග, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, ඉන්දික ද සේරම්, පර්වේස් මහරුෆ් ඒ අතර වෙති. එමෙන්ම හිටපු තේරීම් කමිටුවේ සාමාජිකයන් වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රොමේෂ් කළුවිතාරණ සහ හේමන්ත දේවප්‍රිය යන තිදෙනාද එම යෝජිත නම් අතර වීම විශේෂ සිද්ධියකි. 2019 වකවානුවේ ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු වන විනෝදන් ජෝන්ගේ නමද ඒ අතර ඇතැයි කියැවේ. දැන් තිබෙන්නේ තම අභිමතය පරිදි සුදුසු තේරීම් කමිටුවක් පත් කර ගැනීම සඳහා ඇමැති හරින් ගේ වාරයයි. මේ නම් කර යවා ඇති දසදෙනා නුසුදුසු යැයි හැඟේ නම් ඔහුට නැවතත් වෙනත් පිරිසක් නම් කර එවන ලෙසද ඉල්ලා සිටිය හැක. එම අයිතිය මෙන්ම නිදහසද ඇති ඇමැති හරින් දැන් හරි මග යා යුතුය.

තේරීම් කමිටුව යනු මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇති ප්‍රධානම කමිටුවකි. ලක්ෂ දෙසීය විස්සක ජනතාවගෙන් එකොළොස් දෙනෙක් තෝරනවා යනු ඉතා බැරෑරුම් අභියෝගයකි. බොහෝ දේ තේරීම් මත රඳා පවතින බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ නිසා මේ තෝරා ගැනීම් ඉතා අවංකව සහ කැපවීමෙන් ඉටු කළ යුතු කාර්යයකි. තමාගේ අතට එන ලකුණු පුවරුවේ ඇති ලකුණු සහ කඩුලුවලින් පමණක් තේරීම් සිදුකළ නොහැක. තේරීම් කමිටු නිලධාරියා සෑම තරගයක්ම නැරඹීමට යා යුතුය. එම තේරීම් කමිටුව සාමාන්‍යයෙන් තිදෙනකු, පස් දෙනකු හෝ හත්දෙනකු විය හැක. ඒ ඒ සාමාජිකයන් ඒ ඒ තරග වෙන් කරගෙන නැරඹීමට යා යුතුය. ඔවුන් තෝරන එකොළොස් දෙනා යනු මෙරට සිටින හොඳම ක්‍රීඩකයන් එකොළහ විය යුතුය. එසේ වෙනවා නම් ඒ තෝරා ගැනීම 38 හැවිරිදි උපුල් තරංග ගේ ප්‍රධානත්වයෙන් හෝ 63 හැවිරිදි විනෝදන් ජෝන් ගේ ප්‍රධානත්වයෙන් හෝ තවමත් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍යගේ අතින් සිදු වුවද වරදක් නොවේ. අවැසි වන්නේ හෙට දින දිනන කණ්ඩායමක් බිහිකර
ගැනීම පමණි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment