ජනහද ජයගත් මහජන බැංකුව 62 වැනි වසර සමරයි

124

මහජන බැංකුවේ 62 වැනි සංවත්සරය අදට (1දා) යෙදේ

ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම, ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීම, සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම ග්‍රාමීය බැංකු අංශය දියුණු කිරීම වැනි කරුණු ශාක්ෂාත් කර ගැනීමේ මූලික පරමාර්ථයෙන් යුතුව, වෙළෙඳ ආහාර සමුපකාර හා නාවික කටයුතු අමාත්‍ය ටී. බී. ඉලංගරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 1961 අංක 29 දරන මහජන බැංකු පනත අනුව 1961 ජූලි මස 01 දා මහජන බැංකුව ස්ථාපිත කෙරිණ.

එකල සමුපකාර ව්‍යාපාරය පිළිබඳ හසල දැනුමක් තිබූ වින්සන්ට් සුබසිංහ මහතා මහජන බැංකුවේ සභාපති ලෙස පත් කෙරිණ. සාමාන්‍යාධිකාරී ලෙස ඩබ්ලිව්. එච්. සොලමන්ස් මහතා පත් කෙරිණ.

මහජන බැංකුව පිහිටුවීම ලාංකේය බැංකු ක්‍රමයේ ප්‍රබල පෙරළියක ඇරඹුම විය. බැංකු අතුරින් පළමු වරට සිංහල හා දෙමළ භාෂාවලින් වැඩ කිරීමට පටන්ගත්තේ මහජන බැංකුවයි. ගොවි කම්කරු ජන කොටස්වලට මෙන්ම ලිපිකරු ගුරුවරුනට පවා එතෙක් වැසී තිබුණු බැංකු දොරටු විවර වූයේ මහජන බැංකුවෙනි.

එමෙන්ම ගම්බද පාසලින් නිදහස් අධ්‍යාපනය ලැබූ දරු දැරියන් මහජන බැංකුවේ සේවය සඳහා බඳවා ගන්නා ලදී.

වැඩිම ශාඛා ජාලයක්, වැඩිම ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර සංඛ්‍යාවක්, වැඩිම සේවක මඬුල්ලක්, වැඩිම ගනුදෙනුකාර භවතුන් පිරිසක් යන මේ සෑම අංශයකින්ම මහජන බැංකුව ඉදිරියෙන් සිටී. මහජන බැංකුව සතු ඒකාබද්ධ තැන්පතු ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 2.5 කට අධික වන අතර ඒකාබද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 3 ඉක්මවා ඇත. පසුගිය වසර අවසානයේ අති විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල ලබමින් මහජන බැංකුව රුපියල් බිලියන 21.3 ක බදු පෙර ලාභය වාර්තා කර ඇත. ලොව පිළිගත් මූල්‍ය හා බැංකු ප්‍රමිතීන්ට ද අනුගත මහජන බැංකුව Fitch Rating ශ්‍රේණිගත කිරීම .’A’. වේ. මේ නිසා මෙරට ප්‍රමුඛ පෙළ මූල්‍ය ආයතන හා බැංකු අතර ඉහළම තැන වැජඹීමට මහජන බැංකුව සමත් වී ඇත.

මහජන බැංකුව මෙරට ඩිජිටල් බැංකුකරණයෙහි ප්‍රමුඛයා ද වන්නේය. වඩාත් පහසු කාර්යක්ෂම හා ආරක්ෂාකාරී සේවාවක් සැලසීම උදෙසා මහජන බැංකුවේ පීපල්ස් ඉන්ටර්නෙට් බෑන්කිං සහ පීපල්ස් මොබයිල් බෑන්කිං යෙදවුම් ජනතාවගේ ඉමහත් ප්‍රසාදයට පත්ව ඇත. එසේම රට පුරා පිහිටුවා ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයන් මගින් දින 365 තුළ දිනපතා දිවා රෑ පැය 24 පුරාම ජනතාවට බැංකු ශාඛා තුළට නොගොසින්ම බැංකු පහසුකම් ලබාගැනීමේ හැකියාව හිමි වී ඇත.

ශ්‍රී ලාංකේය ජනතාවගේ ආදරය හා විශ්වාසය දිනාගත් මහජන බැංකුව සිරිලක සිවු දිග කිතුගොස රන්ඳා ඇත. ජය දද බන්දා ඇත. ජය ගොස නංවා ඇත. ජන හදවත් තුළ සදා ලැගුම් ගෙන ඇත. ජන හද ජයගත් මහජන බැංකුව උදා ඉරක් සේ සදා දිළේවා!

හොරණ බී. ඒ. ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment