පේරාදෙණිය සරසවිය හැමෝටම දොර අරී

1143

ශ්‍රී ලංකාවේ කීර්තිමත් හා සුන්දරතම විශ්වවිද්‍යාලයක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය අද (1 දා) දින විවෘත දිනයක් (Open Day) ප්‍රකාශයට පත්කර ඇත. මහජන ප්‍රදර්ශනය පෙරවරු 9.00 ට ආරම්භ වෙයි.

මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණිය නගරයට ආසන්නව හන්තාන කඳු පන්තියේ බටහිර බෑවුම හා මහවැලි නදිය අතර ඉතා මනරම් පරිසරයක පිහිටා ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආරම්භ කර වසර 80 ක් පිරීමට සමගාමීව මෙම විවෘත දිනය ප්‍රකාශයට පත්කර තිබේ. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් මෙලෙස මහජනයාට විවෘත දිනයක් ප්‍රකාශයට පත්කර ඇත්තේ ඉතිහාසයේ පළමු වරටය.

ඒ අනුව එදිනට විශ්වවිද්‍යාලයේ සියලුම පීඨයන් මහජනතාව වෙනුවෙන් විවෘතව තැබෙන අතර විවෘත දිනයේ සමාරම්භක උත්සවය සනාතන මන්දිරය හා විශ්වවිද්‍යාලයේ පොලොන්නරුව ආශ්‍රිත ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ලොව සුන්දරතම විශ්වවිද්‍යාලයන් අතර නම රැන්දූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සුන්දරත්වය සියැසින්ම විඳ ගැනීමට මෙන්ම විශ්වවිද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය හා විද්‍යාර්ථයින් හමුවීමටත්, ඔවුන් සමග සාමූහිකත්වයෙන් කටයුතු කර විවිධ අංශයන්ගෙන් හා විවිධ පාඨමාලාවන්ගේ අධ්‍යාපන පරාසයන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටත් මෙම විවෘත දිනයේදී ‘Open Day 2023. අවස්ථාව හිමිවේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා, මෙම දිනයේ විශ්වවිද්‍යාලයට පැමිණෙන අයට විශ්වවිද්‍යාලය වටා මාර්ගෝපදේශනය සහිත චාරිකාවන්ට සහභාගි වීමට, විද්‍යා ප්‍රදර්ශනයන් නැරඹීමට මෙන්ම නර්තන, ගායන හා සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විත අංගයන්ද දැකබලා ගැනීමට අවකාශය සැලසෙන බවත් එසේම ආහාර පාන වර්ග සහිත වෙළෙඳ කුටි මෙන්ම විද්‍යාර්ථයින්ගේ සමිති හා සමාජයන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඉදිවූ ප්‍රදර්ශන කුටි විශාල ප්‍රමාණයක් ද උත්සව භූමිය තුළදී ඔබට දැකගත හැකියාව පවතින බවත් පවසයි. තවද උසස් අධ්‍යාපනය කටයුතු පිළිබඳ ඔබේ ගැටලු හා විමසීම්වලට පිළිතුරු ලබාදීමට ඒ සෑම ස්ථානයකම රැඳී සිටින විද්‍යාර්ථයින් සමග ඔබට අදහස් හුවමාරු කර ගැනීමට ඉඩ හසර සැලසෙනු ඇත. එසේම මෙම තීරණය මගින් මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දිරි ගන්වන්න ගත් තීරණයක් බව උපකුලපතිවරයා පවසයි.

ජනක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment