රාගම රෝහලේදී එන්නත ‘ඇලජික්’ වී තවත් මවක් මරුට

714

හදිසියේ ඇතිවූ බඩේ කැක්කුමක් නිසා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටි 23 හැවිරිදි එක්දරු මවකට රෝහලෙන් ලබා දුන් එන්නතක් අසාත්මික තත්ත්වයට පත්වීම නිසා ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව කඳාන පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පලිහවඩන ආරචිචිගේ හංසිකා සජානි පෙරේරා නමැති ජාඇල උතුරු බටගම, ඇවරිය වත්ත පාරේ නිවසක පදිංචිව සිටි අයෙකි. හදිසි මරණ පරීක්ෂක එස්. පී. ඩී. එන්. සේනානන්ද මහතා ඉදිරියේ රාගම ශික්ෂණ රෝහලේදී පැවති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් මියගිය කාන්තාවගේ සැමියා වූ පෞද්ගලික ආයතනයක ගණකාධිවරයකු වූ සංඛපාල ආරචිච්ගේ අමිල පැතුම් දිසානායක මෙසේ පැවසීය.

මිය ගොස් සිටින්නේ මගේ බිරිඳ. ඉකුත් 26 දින ඇයට හදිසියේ ඇතිවූ බඩේ කැක්කුමක් නිසා මම ඇය රාගම ශික්ෂණ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගෙන ගියා. ඇය පරීක්ෂා කිරීමෙන් අනතුරුව රෝහලේදී ඇයට ස්කෑන් පරීක්ෂණයක් කළා. එයින් පසු ඇයගේ පිත්තාශයේ කුඩා ගලක් තියනවා කියලා රෝහලේ 37 වැනි වාට්ටුවට ඇතුල් කළා. 28 දහවල් මට රෝහලෙන් දැන ගන්න ලැබුණා ඇයට දැන් හොඳයි ටිකට් කපා ගෙන ගෙදර ගෙනයන්න පුලුවන් කියලා. නමුත් එදින සවස දැනගන්න ලැබුනා ඇයගේ ශරීරයට විෂබීජයක් ඇතුල් වෙලා කියලා. එයට ප්‍රතිකාර වශයෙන් එන්නතක් ලබාදීලා දැන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරල ඉන්නවා කියලා.

නමුත් 29 දින සවස 2.30 පමණ ඇය මියගොස් ඇති බව මට දැන ගන්න ලැබුණා. හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝගය මත මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය ජේ. සී. බී. පොලොන්වල මහතා මෙහිදී නිගමනය කර සිටියේ අදාළ කාන්තාවගේ ශරීරයට විෂබීජයක් ඇතුල්වී තිබිම නිසා එයට ප්‍රතිකාර වශයෙන් ඇයට ලබාදුන් එන්නතක් අසාත්මික (ඇලජික්) වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවය.

කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි හේවාවිතාන මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 35506 සමන්ත මහතා විසින් සාක්ෂි මෙහෙය වන ලදී.

බී. ටී. කේ. – ජාඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment