සධාතුක කරඬුව සහ පූජා භාණ්ඩ උඩ මළුවට වැඩම කර ශ්‍රීපාද කරුණාව ඇරැඹෙයි

103

ශ්‍රීපාද වන්දනා වාරය ඊයේට (26 දාට) යෙදී තිබූ උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ කළ බව ශ්‍රීපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධීශ්වර, ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය, ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසූහ. ඒ අනුව 2024 වසරේ වෙසක් පොහෝ දිනය දක්වා ශ්‍රීපාද වන්දනා සමය ක්‍රියාත්මක වේ.

පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත්, බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේත් ඉකුත් 25 වැනිදා වැඩම කරවූ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රීපාද උඩමළුව වෙත වඩම්මවා ශ්‍රීපාද පද්මය සුවඳ පැනින් දෝවනය කර ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව ඊයේ උදෑසනට යෙදුණු සුබ නැකතට වැඩමවූ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රීපාද උඩ මළුවේ තැන්පත් කිරිමෙන් පසු ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කෙරිණි.

සධාතුක කරඬුව සහ පූජා භාණ්ඩ උඩ මළුවට වැඩම කර ශ්‍රීපාද කරුණාව ඇරැඹෙයි

2023-2024 ශ්‍රීපාද වන්දනා වාරයේ වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන්ට කිසිදු හිරිහැරයක් නොවන සේ කටයුතු කරමින් ශ්‍රීපාද පුදබිමට පිවිසෙන මාර්ගය දෙපස පොලිතින්, ප්ලාස්ටික් වැනි නොදිරන ඝන අපද්‍රව්‍ය මුදා නොහැර ශ්‍රීපාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සලකා කරුණා කරන ලෙස ශ්‍රීපාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියෝ වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටිති.

මාර්ග හතරක් ඔස්සේ ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරීම සඳහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට ඉකුත් 25 වැනිදා සිට වැඩම කරවූ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් රන්සිලිගේ රිය පෙරහැර ගමන් ගත් මාර්ග දෙපස එම රිය පෙරහැරට පුෂ්පෝපහාර දැක්වීම සඳහා බැතිමත්හු විශාල පිරිසක් රැඳී සිටියහ.

සධාතුක කරඬුව සහ පූජා භාණ්ඩ උඩ මළුවට වැඩම කර ශ්‍රීපාද කරුණාව ඇරැඹෙයි

මෙවර හැටන් මාර්ගය ඔස්සේ වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව උදෙසා විශේෂිත ආරක්ෂිත වැඩපිළිවෙළක් දියත් කර ඇති බවත්, ශ්‍රීපාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන එන පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිස් සුනඛ අංශයේද සහාය ඇතිව විශේෂ සෝදිසි මෙහෙයුම් ශ්‍රීපාද – හැටන් මාර්ගයේත්, හැටන් දුම්රිය ස්ථානයෙත්, නල්ලතන්නිය සිට ශ්‍රීපාද උඩ මළුව දක්වාත් දියත් කර ඇති බව හැටන් පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා පැවසීය.

සධාතුක කරඬුව සහ පූජා භාණ්ඩ උඩ මළුවට වැඩම කර ශ්‍රීපාද කරුණාව ඇරැඹෙයි

බලංගොඩ බගවන්තලාව මාර්ගයේ ශ්‍රීපාදය කරුණා කරන වන්දනාකරුවන්ට සහ ප්‍රදේශවාසීන්ට බගවන්තලාව ප්‍රදේශයේ ජනතාව එක්ව ඉකුත් 25 වැනිදා දන්සලක්ද පැවැත්වූහ.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment