මංගල ගමන්වාරයේදීම වවුනියාව – කොළඹ සුඛෝපභෝගී බසයට ඇණ ප්‍රහාරයක්

1085

දත් කැඩුණු රියැදුරුට බරපතළයි

වවුනියාවේ සිට කොළඹ දක්වා ගමන් ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථයක පළමු ගමන් වාරය යෙදුණු පෙරේදා (19 දා) දිනයේම ශ්‍රාවස්තිපුර, සුදු පාලම අසලදී එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් එම බස් රථයේ රියැදුරා බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ, අනුරාධපුර ශ්‍රාවස්තිපුර, ආමනේ ප්‍රදේශයේ පදිංචි බී. එම්. සෙනරත් බණ්ඩාර නමැති 49 හැවිරිදි දෙදරු පියෙකි. රාත්‍රී කාලයේ හෝ දිවා කාලයේ එම 57 මාර්ගයේ කිසිදු සුඛෝපභෝගී

බස් රථයක් ධාවනය නොවීම හේතුවෙන් ජනතාවගෙන් ලැබුණු දැඩි ඉල්ලීම මත මෙම බස්රථය ධාවනයට එක්කළ බව අනාවරණය වේ. පෙරේදා (19 දා) අලුයම තුනට පමණ ශ්‍රාවස්තිපුර, සුදු පාලම අසල දී මෙම ප්‍රහාරය එල්ල වී ඇත. ප්‍රහාරයට සම්බන්ධ සැකකරු හෝ පිරිසක්, රේල් පීලි වලට යොදන යකඩ ඇනයකින් ප්‍රහාර එල්ල කර ඇති බවද පොලිසිය කියයි. ප්‍රහාරයත් සමග බස්රථයේ ඉදිරිපස වීදුරුව සිදුරු වී රියැදුරුගේ මුහුණට යකඩ ඇණ ප්‍රහාරය එල්ල වීමෙන් ඔහුගේ දත් කිහිපයක් කැඩී ඇති බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

බස් රථයේ මංගල ගමන් වාරය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දුරකථන අංක පළ කිරීමෙන් අනතුරුව ආසන වෙන් කරවා ගැනීමට ඇමතූ පුද්ගලයකු අනුරාධපුර නව නගරයෙන් කොළඹට ආසනයක් වෙන්කරවා ගෙන ඇති බවත්, ඔහු නොපැමිණීම හේතුවෙන් බස් රථයෙන් දුරකථන ඇමතුමක් ලබාගත්

අවස්ථාවේදී, බස් රථය තිබෙන ස්ථානය දැනගෙන මෙම ප්‍රහාරය සූදානම් කර ඇති බවට සැක කරන බව පොලිසිය කියයි. බස්රථය ධාවනය නොකරන ලෙසටත්, ගිනි තබන බවටත් දුරකථන ඇමතුම් ලැබී තිබූ බව ආවරණය වූ බවත්, ඊට සම්බන්ධ දුරකථන අංක ඔස්සේ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය කියයි.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment