කලින් වෙන්කරවා ගෙන පැමිණීමේ RMV නව වැඩපිළිවෙළට ජනතාවගෙන් යහපත් ප්‍රතිචාර

41

රියැදුරු බලපත්‍ර ලබාගැනීම ඇතුළු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවාවන් ඉටුකර ගැනීමට කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන පැමිණීමට ඊයේ (04 දා) සිට හඳුන්වා දුන් නව වැඩපිළිවෙළට මහජනතාවගෙන් යහපත් ප්‍රතිචාර ලැබෙන බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා ‘දිවයින’ ට ඊයේ (04 දා) පැවසීය.

සේවාවන් ලබාගැනීමට පැමිණෙන ජනතාව තැරැව්කරුවන්ගෙන් නිදහස්ව කාලය නාස්ති කිරීමකින් තොරව සිදුකරදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බව ද ඒ මහතා පැවසීය. නව වැඩපිළිවෙළ හඳුන්වා දුන් මුල් දින කීපයේ සුළු සිද්ධීන් සිදුවිය හැකි බවත් ඒවාද නිවැරදි කරගෙන මෙය සාර්ථක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඒ මහතා කියා සිටියේය.

මේ වනවිට දිස්ත්‍රික්ක 25 ම නියෝජනය වන සේ දුරකථන අංක හඳුන්වා දී ඇති අතර එම අංක ඇමැතීමෙන් ස්වයංක්‍රීයව දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගත හැකි වේ. මෙම සේවාව පැය 24 පුරා ක්‍රියාත්මක වේ. නාරාහේන්පිට හා වේරහැර කාර්යාලය සඳහා 011-2117116 අංකයද, ගම්පහ 0332117116 අංකයද මහනුවරට 0812117116 අංකයද හඳුන්වා දී ඇත. මේ ආකාරයෙන් දිස්ත්‍රික්කයට අදාළ ප්‍රාදේශීය අංකය යොදා 2117116 අංක ඇමැතීමෙන් සේවාවන් ලබාගැනීමට අවශ්‍ය අංකය සහ දිනය ලබාගත හැකිය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment