හඳයාගේ ඕඩරයට මිනී මැරූ මොරගහහේනේ වෙඩික්කරු වෙඩිකා නසී

638

ගුවන් හමුදා කෝප්‍රල්වරයෙක්
රග්බි පිලේ ක්‍රීඩකයෙක්
ඔහු සිටියේ සතිඅන්ත නිවාඩු පිට – ගුවන් හමුදාව කියයි

හොරණ, මොරගහහේන, මාලොස්ඇල ප්‍රදේශයේදී පෙරේදා (07 දා) දහවල් ද්විත්ව ඝාතනයක් සිදුකර පලා යමින් සිටි ගුවන් හමුදා කෝප්‍රල්වරයකු ඊයේ (08 දා) අලුයම අංගමුව මංසන්ධියේදී පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් මරුමුවට පත්විය.

රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සක්‍රීය සේවයේ යෙදී සිටින පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රාජපක්ෂ පතිරගේ දිලන්ත ලක්මාල් නමැති 33 හැවිරිදි අයකු මෙසේ මියගොස් ඇති අතර ඔහු ගුවන් හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙකි.

හොරණ, මොරගහහේන ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සොයා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු සහ පොලිස් විශේෂ බළකායේ නිලධාරීහු, ලද තොරතුරකට අනුව විශේෂ මෙහෙයුමක් ආරම්භ කළහ. අංගමුව මංසන්ධියේ තාවකාලික මාර්ග බාධකයක් යොදා වාහන පරීක්‍ෂා කිරීමේදී අලුයම 4.15 ට පමණ පැමිණි යතුරුපැදියකට නවන්වන ලෙස පොලිසිය නියෝග කර ඇත. අණ නොතකා නොනවත්වා ධාවනය කළ යතුරුපැදිය අතහැර දමා ඉන් පැනගත් යතුරුපැදිකරු පොලිසිය දෙසට බෝර 12 ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා ඇත.

එහිදී ආත්මආරක්ෂාව සඳහා පොලිසිය ද යතුරුපැදිකරුට වෙඩිතබා ඇති අතර ඉන් වෙඩිවැදී බරපතළ තත්ත්වයේ සිටි වෙඩික්කරු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙම පුද්ගලයා හොරණ, මොරගහහේන ප්‍රදේශයේ පෙරේදා දහවල් සිදුවූ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු බවට පොලිසිය හඳුනාගෙන ඇත.

දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක ජාවාරම්කරුවකු වන ‘හඳයා’ නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු මෙම පුද්ගලයා බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ ගුවන් හමුදා කොප්‍රල්වරයා සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගුවන් හමුදාපතිවරයා විසින් ද නියෝග කර ඇත.

පාදුක්ක ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය ගුවන් හමුදා කෝප්‍රල්වරයා සතිඅන්ත නිවාඩු ලබා කඳවුරෙන් පිටව ගොස් ඇති අවස්ථාවක මෙම සිදුවීම වී ඇතැයි ගුවන් හමුදාව පවසයි.

මේ සම්බන්ධයෙන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ගුවන් හමුදාව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන පරීක්ෂණ සඳහා ද ගුවන් හමුදාවේ පූර්ණ සහාය ලබාදෙන ලෙස ගුවන් හමුදාපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇතැයි, ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉෂාන් විජේසිංහ මහතා පවසයි.

මෙම ගුවන් භටයා 2009 ජුනි 18 දා ගුවන් හමුදාවට බැඳී ඇති අතර, ඔහු රත්මලාන ගුවන් හමුදා රග්බි කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරන බව ඒ මහතා කීය.

කමල් බෝගොඩ, චමින්ද සිල්වා, කඩුවෙල – සුගත් ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment