කෙළින්ම ලංවිම ඉන්ධන ආනයනය ප‍්‍රායෝගික නෑ – ඉංජිනේරුවෝ කියති  

286

විදුලි බලාගාරවලට කෙළින්ම විදේශ සමාගම්වලින් ඉන්ධන ගෙන ඒමට තෙල් සංස්ථාව (සිපෙට්කො) ඉඩ ලබා දුන්නත් මේ මොහොතේ ප‍්‍රායෝගිකව එය ලංවිමට කළ නොහැකි බොරු මනස්ගාතයක් යැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරු කියා සිටිති.

ජනතාව පිනවීම සඳහා තෙල් සංස්ථාව එවැනි ප‍්‍රකාශ කළත් බලාගාරවලට ඉන්ධන මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලය සතුව ඩොලර් නොමැති බවත්, විදුලිබල මණ්ඩලයේ කටයුතුවත් හරිහැටි කරගත නොහැකිව තිබියදී ඉන්ධන ආනයනය කිරීමට යෑම විහිළු සැපයීමක් පමණක් බවත් ඔවූහු කියා සිටිති. විදුලිබලාගාර සඳහා ඩීසල්, නැප්තා හා දැවිතෙල් අවශ්‍ය වන අතර වත්මන් අර්බුදය හමුවේ ඒවා ගෙන ඒමට නොහැකි වනු ඇතැයිද කියා සිටිති.

ලබන ජූලි මාසය වනවිට නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සංචිතත් අවසන් වන බවත් මේ වනවිට ගල්අඟුරු සපයන සැපයුම්කරුවන්ද මෙරටට ගල්අඟුරු ගෙනඒම පතික්‍ෂේප කරන තැනට පත්ව සිටින බවත් ඉංජිනේරුවෝ කියා සිටිති.

මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපති නලින්ද ඉලංගකෝන් මහතාගෙන් ‘‘දිවයින’’ කළ විමසීමේදී ඒ මහතා ද කියා සිටියේ කඩිමුඩියේ ඉන්ධන ආනයනය කිරීමට නොහැකි බවයි. ඒ පිළිබඳව මූලික අධ්‍යයනයක් ආරම්භ කර ඇතැයි ද එලෙස ඉන්ධන මිලදී ගැනීමට ගියත් දීර්ඝ කාලීන ණය පදනමක් මත එය සිදු කරීමට වන බවද ඒ මහතා කියා සිටියේය.

ලංකා කණිජ තෙල් සංස්ථාව ස්ථාපිත කළ 1961 අංක 28 දරන පනතට අනුව විදුලිබල මණ්ඩලයට ඉන්ධන ගෙනඒමේ බලපත‍්‍ර ලබාදිය නොහැකි මුත් අවශ්‍ය නම් කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ එලෙස අවසර දිය හැකි බවත්, එකී යෝජනාව පිළිබඳ තාමත් සිදු වන්නේ මූලික සැලසුම් සකස් කිරීම පමණක් බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment