මාසික වියදම ලක්ෂයත් පනී

1557

උද්ධමනය හේතුවෙන් මෙරට එක් පවුලක් සඳහා මාසික පරිභෝජන වියදම 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී රුපියල් 103,283 දක්වා සියයට 16.5කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වේ.

ජාතික පාරිභෝගික මිල දර්ශකය පදනම්ව මෙරට එක් පවුලක් සඳහා 2022 වර්ෂයේ මාසික පරිභෝජන වියදම රුපියල් 88,704 කි. 2023 වර්ෂයේ දී එක් පවුලක් සඳහා මාසික පරිභෝජන වියදම රුපියල් 103,283 දක්වා සියයට 16.5කින් වැඩි වී ඇති බව ද මෙකී වාර්තාවේ සඳහන් වෙයි. 2022, 2023 යන වර්ෂයන්වල මෙරට එක් පවුලක් විසින් වැඩිම වියදමක් දරා ඇත්තේ ආහාර නොවන අයිතම සඳහා වන අතර 2022 වර්ෂයේ දී මෙරට පවුලක් විසින් වැයකරනු ලැබූ මාසික පරිභෝජන වියදමෙන් සියයට 53.9ක් වැයකොට ඇත්තේ ආහාර නොවන අයිතම සඳහා බව ද මෙකී වාර්තාවේ සඳහන් වේ. ආහාර සඳහා වැයකොට ඇති මුදල මාසික පරිභෝජන වියදමෙන් සියයට 46.12කි.

2023 වර්ෂයේ මෙරට එක් පවුලක් මාසික පරිභෝජන වියදමෙන් සියයට 56.2ක් ආහාර නොවන අයිතම සඳහා වැයකොට තිබූ අතර ආහාර සඳහා වැයකොට ඇත්තේ සියයට 43.8කි. ඉකුත් වර්ෂයේ දී මෙරට ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ඉහළයෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ ද 2022 වර්ෂයට සාපේක්ෂව මිල ඉහළ යෑම අඩු මට්ටමක පැවැති බව ද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment