උප්පැන්නයේ ‘ජාතිය’ තීරුව හිස්ව තියන්න පුළුවන්ද? – අධිකරණය නීතිපතිගෙන් වාර්තාවක් ඉල්ලයි

147

උප්පැන්න ලියාපදිංචි කරන ලේඛනයේ ජාතිය සඳහන් කිරීමට ඇති තීරුව හිස්ව තැබීමට හෝ එම තීරුවේ ශ‍්‍රී ලාංකික ලෙස සඳහන් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (09දා) නීතිපතිවරයාට නියෝග කළේය.

අප රට තුළ සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් නිරතුරුව සංවාදයට ලක්කළත් උප්පැන්න ලියාපදිංචි කිරීමේ ලේඛනයට යමෙකුගේ ජාතිය කුමක්දැයි ඇතුළත් කිරීම මගින් යමෙකු උපදිනවිටදීම ජාතීන් ලෙස බෙදීමකට ලක්කර ඇතැයි පෙන්වා දෙමින් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළේය.

සිය දරුවාගේ උප්පැන්න ලියාපදිංචි කිරීමේ ලේඛනයේ අදාළ තීරුවේ ජාතිය සඳහන් නොකර ශ‍්‍රී ලාංකික ලෙස සඳහන් කරන ලෙස තමා කළ ඉල්ලීමක් රෙජිස්ට‍්‍රාර් ජනරාල්වරයා විසින් ප‍්‍රතික්‍ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් නීතිඥ නුවන් බෝපගේ මහතා ගොනු කර තිබු රීට් ආඥා පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥවරයා එම කරුණු දැක්වීම සිදු කළේය.

යුක්තික අභිත බෝපගේ නමැති දරුවා වෙනුවෙන් සහායක මිත‍්‍රයකු ලෙස පෙනීසිටි නීතිඥ නුවන් බෝපගේ මහතා ගොනු කර තිබු එම පෙත්සම ලබන පෙබරවාරි 17 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.

නීතිඥ ටිරාන් ඇන්කටෙල් මහතා සම`ග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඳ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළ අතර රජයේ අධිනීතිඥ රජික අලූවිහාරේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment