ආලෝක කුරුසයන් ඇති වෙන ආකාරයට දොර ජනෙල තබන්න එපා

85

කුරුසයක් ආකාරයට නිවසක අත්තිවාරම්, බිත්ති, කොන්ක්‍රීට් බීම්, වහලයේ යටලී පැවතීම වාස්තු විද්‍යාවේ සඳහන් වන්නේ අශුභ පිහිටීමක් ලෙසිනි. ඒ වගේම කුරුසයක් යන්නේ අර්ථය ද පෝරකයක් වැන්නය. මෙයට වසර 2024 කට කලින් ස්වර්ගයෙන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ ජන්මය ලබා මනුෂ්‍යයන්ගේ පාපයට හා ශාපයට තමන්ගේ රුධිරය පොළවට පූජා කළේ මේ කුරුසිය කර මත තබාගෙන කසපහර කමින් කල්වාරි කඳු මුදුනේ උන්වහන්සේගේ ශරීරය අත් දෙපසට තබා ඇන ගසා සිටවා දැමුවේ මේ කුරුසය මතයි. මනුෂ්‍යයන්ගේ පාපය කමා කරනු වස් උන්වහන්සේගේ ශරීරයේ අවසාන ලේ බිඳුව ද පූජා කළේ මේ රුදුරු කුරුසය මතදීය. එසේ වූ කුරුසය පාපකාරී සංකේතයක් මිස සෞභාග්‍යයේ සංකේතයක් නොවන්නේය. එම නිසා නිවාස ඉදිකිරීම්වලදී කුරුසය වැටෙන අයුරින් කිසිම ගෘහ අංගයක් නිවසකට වැටීම අශුභ ගෙනදෙන, අවාසනාව ගෙන දෙන්නකි. අද මා කතා කරන්නේ නිවසකට ඇතුල් වන ආලෝකය තුළින් නිර්මාණය වන කුරුස සම්බන්ධයෙනි. චීන ජාතිකයන් පවා ෆෙංෂුයි ශාස්ත්‍රය තුළින් සිදු කරන්නේ නිවසට ආලෝකය හා සුළඟ ලබාගැනීමයි. ඔවුන් සුළඟ, අලෝකය, දේවත්වයෙන් ඇදහීම කරයි. රාවණා රජුගෙන් අපහට ලැබුණ ගෙබිම් ශාස්ත්‍රය තුළද එයට පෙර භාරතයේ සෘෂිවරුන් විසින් සකු භාෂාවෙන් ග්‍රන්ථ කරන ලද වාස්තු විද්‍යාව තුළද නිවසකට ධන ශක්තිය ආරෝපණය කරනු වස් ආලෝකය, සුළඟ නිවසට ලබාගැනීමට සෑමවිටම කටයුතු කළේය. වාස්තු විද්‍යාවේ මූලික අරමුණ වස්, යහපත්ව විසීම සඳහා නිරෝගීකම හා සතුට අත්‍යවශ වේ. සතුට හා නිරෝගිකම ලබාගැනීමට නම් එම නිවස සක්‍රීය නිවසක් විය යුතුය. වාස්තු දෝෂ නොමැති විය යුතුය. නිවසක් සක්‍රීයවීමට නම් අවශ්‍ය ප්‍රධානම දේ වන්නේ නිවස ඇතුළත අඳුර නොමැතිව ආලෝකය පැවතීමයි. නිවසක ආලෝකය නොමැති වූ විට එම නිවස කාන නිවසක් හෝ අන්ධක නිවසක් ගණයට අයත් වේ. එනම් ජනෙල්, දොරවල් අවශ්‍ය ප්‍රමාණයට නොතිබීමයි. එසේ නොතිබීමෙන් අපහට ගස්කොළන් වලින් නිවසට පැමිණෙන පිරිසිදු වාතය නොලැබේ. අවශ්‍ය දිශාවලට ජනෙල් නොතැබීමෙන් ආලෝකය නොලැබේ. වර්තමානයේදී නම් එය විදුලි බල්බයකින්, විදුලි පංකාවකින් අවශ්‍යතාවය සපුරාගත හැකිය. නමුත් එය කෘත්‍රිම ආලෝකය හා වායු ධාරාවකි. එමගින් නිවසේ වාස්තු දෝෂ ඉවත් කිරීමට විශ්වයෙන් නොමිලේ ලැබෙන දෙයින් ලැබෙන ගුණය අහිමි වේ. නිවසකට ආලෝකය, වාතය නොලැබෙන තත්ත්වයකදී එම නිවසේ නිවැසියන්ට අන්ධක දෝෂය හටගනී. නිවසේ අශුභ ශක්තීන් වර්ධනයවීම තුළින් අමනුෂ්‍ය දෝෂ හට ගනී. ලෙඩ රෝග, ආසාදන ඇති වේ. කෝපය කලකිරීම හටගනී. නිවසේ සමගිය අහිමි වේ. පුරාණයේ පටන්ම නිවාසවල ජනෙල්, උළුවහු තැබීමේදී ජනේල උසින් සවි කළේ ආලෝකය, වාතය ඇදගැනීම පිනිස වාකවුළුවක් හෙවත් සුළං කවුළුවක් තැබීමටය. සමහර අය ජනේලයට, දොරට, උඩින් සිවිලිමෙන් පහළ උස අඟල් 3” පළල 14” පමණ කවුළුවක් තැබීය. ඉන්පසු ජනෙල්, උළුවහු පඩි කඳේම, බීරළු වශයෙන් මල් කැටයම්, ලැටිස් වශයෙන් වාකවුළුවක් තැබීය. මෙමගින් අරමුණ වූයේ නිවසට ආලෝකය හා වාතය ලබාගැනීමත්, නිවස ඇතුළත සිසිල් බව රැකගැනීමත්ය.

නමුත් වර්තමානයේ නම් බිම සිටම අඩි 8, 9 විශාල ජනෙල් බිමට පඩි කඳක් නොමැතිව නිර්මාණය කර නිවෙස්වල තබා ඇති අතර, විටෙක එය උළුවස්සක් ලෙසින් ද ප්‍රයෝජනයට ගෙන නිවසින් පිටතත්, පිටතින් නිවසටත් එහා මෙහා ගමන් කරයි. මෙැවනි ජනෙල් පමණක් නොව ඒවායෙන් පැනීම ද වාස්තු විද්‍යාත්මක දෝෂ ගොඩක් ඇති වෙන සංසිද්ධීන් වේ. ඒ වගේම සමහර ජනෙල්, උළුවහුවල, පඩි කඳ උඩින් දමා ඇති මෙම බීරළු, ලිය කැටයම් සහිත වාකවුළු, ඉටිකොළ, වීදුරු ගසා වසා ඇත. නිවස තුළට දූවිලි පැමිණෙන නිසා යැයි සමහරු කියයි. එය ද වාකවුළු නොමැතිව නිවස ඉදිකළා වැන්න.

මෙසේ පුරාණයේ පටන් නිවාසවලට වාකවුළු තැබීම සිදු කළේ නිවස වසාදමා ගේ හිමියන් කොහේ ගියද වාකවුළු පැවතීමෙන් නිවසට ආලෝකය, වාතය ලැබෙන නිසාය. ගෙය දින කීපයක් වසා තිබුණ ද නිවසේ දොර විවෘත කරන විට නිවසින් අමිහිරි ගන්ධයක් නොදැනෙන්නේ මේ වාකවුළු නිසාය. එය සිතට නැවුම් ප්‍රබෝධයක් ගෙනදෙන මනසට ප්‍රිය කරන හේතුවක් සේම නිවසේ සාමයට, සතුටට හේතු වේ.

ආලෝක කුරුස ඇතිවීම කෙරෙහි බලපාන හේතු

සමහර නිවෙස්වල වැරදි ආකාරයට ජනෙල් තැබීම තුළින් ආලෝක කුරුසය නිර්මාණය වේ. මෙසේ සිදුවන්නේ උතුරු දිශාවෙන් නිවසට පැමිණෙන වාතය, ආලෝකය දකුණු දිශාවෙන් පිටවේ. ඒ වගේම නැගෙනහිර, බටහිර දිශාවෙන් ද එක කෙළින් ජනෙල් තැබීමෙන් නැගෙනහිර සිට බටහිරටත් වාතය ආලෝකය පරාවර්තනය වේ. මේ තුළින් සතර දිශාවෙන් ගලා එන වාතය ආලෝකය එකම ස්ථානයක ගැටීමක් හටගනී.

එවිට එම ස්ථානයේ කුරුසයක් නිර්මාණය වේ. මෙය ජනෙල් පමණක් නොව උතුර ජනේලයක හා දකුණ උළුවස්සක් ද, නැගෙනහිර උළුවස්ස හා බටහිර ජනේලයක් වශයෙන් ද පැවතේ. කුමන ආකාරයකින් හෝ සතර දෙසින් මේ ආකාරයට වාතය, ආලෝකය එකිනෙකට මුණගැසී හැප්පීම සිදුවීම, එනම් ආලෝක කුරුස ඇතිවීම වාස්තු විද්‍යාවේ අශුභ දෙයක් ලෙස හැඳින්වේ. මෙය දොර ජනෙල් මත තබා ඇති වාකවුළු තුළින් ද සිදුවේ. මක් නිසාද නිවසක දොර ජනෙල් තැබීම සිදුකරන්නේ සමාන උසකින් වීම නිසාය. එම නිසා දොර ජනෙල් පැවතීම, නිවසකට අත්‍යවශ්‍යම කරුණක් වුවද ඒවා තැබීමේදී මෙලෙස ආලෝක කුරුසවලට නිර්මාණය වන ආකාරයට තැබීම අශුභය. සාමාන්‍යයෙන් නිවසක වර්ගඵලයෙන් දහයෙන් පංගුවකට සෑහෙන ප්‍රමාණයක පෙදෙසක දොර ජනෙල් පැවතිය යුතු අතර දොරවල් ඔත්තේ වශයෙන්ද, ජනෙල් ඉරට්ටේ වශයෙන් ද පැවතිය යුතු අතර කිසිම විටක එහි එකතුව 17 හෝ 33 ලෙසින් පැවතීම අශුභ ගෙන දෙන්නක් හැටියට සම්මතය. මෙය තට්ටු 02 කින් සමන්විත නිවසකටද උඩ යට ජනෙල් හා ඉරට්ටේ එකතුව ඔත්තේ විය යුතුය. උළුවහු තැබීමේදී උළුවහු 03 ක් එක කෙළින් පැවතීම ද අශුභ දේ. නිවසට ඇතුල්වන විශ්ව ශක්තිය කිසිම බාධාවකින් තොරව විවර වූ බටයක් ලෙසින්ම එළියට විසිවේ. විද්‍යාත්මකව මෙහිදී නිවස ඇතුළත වාතය සිසිල්වීමක් සිදුනොවනු ඇත. වාතය සැරිසැරීම නොමැතිවීමෙන් නිවස උණුසුම් වේ. නිවස උණුසුම්වීම නිවැසියන්ගේ ද මානසිකත්වය දුර්වල කරනු ඇත. නිවසේ සමගිය සතුට අහිමි කරනු ඇත. සෑම විටකම නිවසකට ඇතුල් වන වාතය ඇතුළත බිත්තිවලට වැදී කාමරය පුරා විසිරී ඉන්පසු දොරකින් පිටවී නිවස ඇතුළත සිසිල් කරමින් මුළු නිවස තුළම ප්‍රවේශ වී පිටව යන ලෙස පැවතිය යුතුය. කෙසේ වුවද නිවසට ඇතුල් වන පිටවන දොරවල් ශුභ පාදවලට පැවතිය යුතු බවද සිහිකළ යුතුමය. මේ සඳහා වාස්තු විද්‍යා නියමයක් ද පවතී. නිවසක දොරවල් තැබීමට ප්‍රථම අත්තිවාරමේ දිගම හා පළලම ස්ථාන දෙක තෝරාගෙන එය සමාන්තරව යා කෙරෙන රේඛාවන් දෙක විකර්ණ රේඛා වශයෙන් හඳුන්වන අතර එම විකර්ණ රේඛාවලට ඡේදනය වන කොටස පමණක් නොව නිවසේ අත්තිවාරම් කොටස දිග පැත්තෙන් 9 කට ද පළල පැත්තෙන් 9 කටද බෙදාගන්න. ඉන්පසු මුල්ලෙන් මුල්ල ලකුණු කර ඇති ස්ථාන නූලකින් යා කරන්න. මෙසේ මුල්ලෙන් මුල්ලට යාකරන විට යම් කාමරයකට අයත් බිත්තියක අත්තිවාරමට උඩින් නූල ගමන් කර පවතී නම් එහි නූල කැපෙන ස්ථානවල උළුවහු තැබීම නොකළ යුතු අතර විකර්ණ රේඛාවට පමණක් ඡේදනය වීම ප්‍රමාණවත් නොවන බවය. මේ තුළින් නිවසක දොර ජනෙල් තැබීම නිසා ආලෝක කුරුසවලින් තොරව දොර ජනෙල් තැබීමට හැකිවනු ඇත. ආලෝක කුරුස නිවස තුළ ඇති වීමෙන් නිවසේ සතුට, සමගිය, ධනය හීන වේ. කෝපකාරීව හැසිරීම, මතක ශක්තිය දුර්වලවීම, කලබලයට පත්වීම, සොර සතුරු උපද්‍රව පවා ඇති කරන දෝෂයක් වේ.

ආලෝක කුරුසයන් ඇති වෙන ආකාරයට දොර ජනෙල තබන්න එපා

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment