නැනෝ පොහොර කෝටි 4ක් සැපයුම්කරුවන්ගේ සාක්කුවේ

251

රජය මගින් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනයේ දී සැපයුම්කරුට වැඩිපුර ගෙවා ඇති රුපියල් හාරකෝටි, අනූ අටලක්ෂ හතළිස් හයදහස් හාරසිය හයක මුදලක් (49,846,406) මෙම වර්ෂයේ (2023) ජනවාරි මස 30 වැනිදා වන විටත් අය කර ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

නැනෝ නයිට්‍රජන් දියර පොහොර බෝතල් 100,224ක් 2021 ඔක්තෝබර් මස 18 වැනිදා ආනයනය කිරීම සඳහා සැපයුම්කරු වෙත බෝතලයකට ඇමරිකානු ඩොලර් 12.45 බැගින් රුපියල් විසිපන්කෝටි, තිස්තුන්ලක්ෂ, එක්දහස් එකසිය විසිහයක (253,301,126) මුදලක් ගෙවා තිබුණි. පසුව බෝතලයක මිල ඇමරිකානු ඩොලර් 10 දක්වා අඩු කර ගැනීමට කටයුතු කර තිබුණි. සැපයුම්කරුට වැඩිපුර ගෙවා ඇති මුදල අය කර ගෙන නොතිබූ අතර සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ අවසන් ගිණුම් තුළ එම වටිනාකම ලැබිය යුතු මුදලක් ලෙස ගිණුම්ගත කර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මේ පිළිබඳ අදාළ පොහොර සමාගමේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත රටෙහි හදිසි අවශ්‍යතාව හේතුකොට ගෙන නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් තීරණය කළ බවය. ඒ අනුව ඇමරිකානු ඩොලර් 12.45ක මුදලකට නැනෝ නයිට්‍රජන් මිලිලීටර් 500ක බෝතලක් මිල දී ගැනීමට තීරණය කළ බවත්, දියර පොහොර බෝතල් 100,224ක් පළමු තොගය ලෙස ආනයනය කිරීමට කටයුතු කළ බවත්ය. ඒ සඳහා Telegraphic Transfer ක්‍රමය භාවිත කර සැපයුම්කරු වෙත ගෙවීම් කළ අතර පසුව අමාත්‍ය මණ්ඩලයේ තීරණය මත ණයවර ලිපි විවෘත කර ඇමරිකානු ඩොලර් 10 බැගින් ඉතිරි දියර පොහොර සඳහා ගෙවීම් කරනු ලැබූ බවය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment