හොර අත්සනින් නෙදර්ලන්ත රැකියා මගඩියක්

96

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය හරහා නෙදර්ලන්තයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ව්‍යාජ අත්සනක් හා අමාත්‍යාංශ ලිපි ශීර්ෂයක් භාවිත කරමින් මුදල් එක්රැස් කරන ජාවාරම්කරුවන් සොයා පරීක්‍ෂණ ක්‍රියාත්මක වන බවත් එම ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් කිසිදු පුද්ගලයකු විදේශ රැකියා සඳහා යොමු නොකරන බව ද රැකියා සඳහා විදේශගත කිරීම් සිදුකරන්නේ නීත්‍යනුකූල ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන විසින් පමණක් බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි. කිසිම පුද්ගලයකු විදේශ රැකියාවක් සඳහා යොමු කරන බවට අමාත්‍යාංශ ලේකම්වරයා සිය අත්සනින් කිසිදු ලිපියක් නිකුත් කර නොමැති බව ද අමාත්‍යාංශය අවධාරණය කරයි.

මෙසේ සිය ව්‍යාජ අත්සනක් යොදාගෙන විදේශ රැකියා සඳහා යවන බව පවසමින් පුද්ගලයන්ගෙන් මුදල් එක්රැස් කරන ජාවාරම්කරුවන් සොයා පරීක්‍ෂණ පවත්වන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද යොමුකර තිබේ. විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක්රැස් කරන ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.
ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment