කෝටි හතහමාරේ ලොතරැයි ජයග්‍රාහකයා පැහැර ගෙන සිර කර පහර දී මුදල් ඉල්ලලා – ලී මෝල් හිමියකු ඇතුළු 4ක් අල්ලයි

280

රුපියල් කෝටි හතහමාරක ලොතරැයි දිනුමක් ඇදුනැයි පැවසෙන අකුරණ ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන විත් දින දහයක් පුරා පහර දෙමින් ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ නිවාස දෙකක සිර කර සිටියදී පෙරේදා (06දා) ගම්පොල විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් හා ගම්පොළ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පැමිණ මුදාගෙන ඊට සම්බන්ධ කල්ලියේ සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ පැහැරගෙන සිරකර තබා ගෙන සිට ඇත්තේ මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හසීම් නමැති පුද්ගලයෙකි. මොහු සිරකරගෙන සිටි බව කියන ලී මෝල් හිමියකු ඇතුළු සිව් දෙනකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ පුද්ගලයකු සිරකරගෙන සිටින බවට විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ වෙත ලද තොරතුරකට අනුව ගම්පොළ විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම ස්ථානයට ගොස් සිද්ධිය තහවුරු කර ගැනීමෙන් පසු ඒ පිළිබඳ ඉහළ නිලධාරීන් දැනුවත් කර තිබේ. ඒ අනුව ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ මෙම පුද්ගලයා මෙසේ මුදා ගෙන තිබුණි.

මෙම පුද්ගලයා දඹුල්ල ප්‍රදේශයේ සිටියදී ගම්පොළින් ගිය සිව් දෙනකු ඔහු පැහැරගෙන මෝටර් රථයක දමා ගෙනැවිත් ගම්පොලදී මෙසේ සිර කරගෙන සිට ඇතැයි පොලිසිය හෙළිකරගෙන තිබේ. එම පුද්ගලයා පවසන්නේ සැකකරුවන් තමාට දරුණු ලෙස පහර දී මුදල් ඉල්ලා සිටි බවයි.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment