බස්නාහිර-දකුණු පාතාල කල්ලි 21ක් එකට මරා ගනිති

444

බස්නාහිර කල්ලි 15 ක් දකුණේ කණ්ඩායම් 6 ක්

නායකයෝ ඩුබායි හා ඉන්දියාවට පැනලා

බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ පාතාල කණ්ඩායම් 21 ක් මත්ද්‍රව්‍ය ව්‍යාපාර කප්පම් ගැනීම් මුල්කරගෙන ඇති වී තිබෙන ආරවුල් මත එකිනෙකා මරා ගැනීමට පටන් ගැනීම නිසා පාතාල මිනිස් ඝාතන ඇතුළු අපරාධ ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම පාතාල කණ්ඩායම්වලින් 15 ක් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන අතර දකුණු පළාත කේන්ද්‍රකරගෙන පාතාල කල්ලි 06 ක් ක්‍රියාකාරකම් ඉහළ දමා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම පාතාල කල්ලි මෙහෙයවන නායකයන් සියලු දෙනා මේ වන විට ඩුබායි සහ ඉන්දියාවේ සිටින අතර තවත් පාතාල නායකයෝ කීප දෙනෙක් පොලිස් අත්අඩංගුවේ පසුවෙති.

මෙම පාතාල නායකයන් විදේශගතව සිටියද තවත් පිරිසක් අත්අඩංගුවේ සිටියද ඔවුන්ගේ පාතාල කල්ලිවල සාමාජිකයන් රට පුරා මිනිස් ඝාතන, කප්පම් ගැනීම් හෙරොයින් ජාවාරම් ඇතුළු විවිධ අපරාධ විශාල වශයෙන් සිදුකරගෙන යන බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය. බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ පාතාල කල්ලි 15 ක් මෙසේය.

ගණේමුල්ලේ සංජීවගේ කල්ලිය, හීනටියනේ මහේෂ්, වැල්ලම්පිටියේ ධනුෂ්ක, කඩුවෙල ලලියා, ගොනාකෝවිලේ කුඩු අංජු, කිඹුලාඇළේ ගුණා, දෙමටගොඩ චමින්ද, ජම්පටාවීදියේ පූකුඩුකන්නා, බුම්මා, කංචිපානේ ඉම්රාන්, වැල්ලෙ සුරංග, කුඩු සලිඳු, හරක්කටා, සෙල්ලිගේ පුතුන් දෙදෙනා යන පාතාල මැරයන් විසින් මෙහෙයවන පාතාල කල්ලි.

ඊට අමතරව දකුණු පළාත කේන්ද්‍ර කරගත් පාතාල කල්ලි මෙසේය.

කොස්ගොඩ සුජී, රත්ගම විදුර, රත්ගම නඳුන්, මාතර සුපුන්, හරක් කටා යන පාතාල නායකයන් විසින් මෙම පාතාල කල්ලි මෙහෙයවයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment