මහනුවර විහාරයේදී ඝාතනය වූ හමුදා සෙබළාගේ මරණයට විහාරාධිපති අත්අඩංගුවට

675

මහනුවර ගැටඹේ දියකපනාතොට විහාරස්ථානයේ තිබී හමුවූ මළසිරුර සම්බන්ධයෙන් විහාරාධිපති හිමි ඇතුළු පිරිස ලබාදුන් ප්‍රකාශවල ඇති පරස්පරතාව මත මහනුවර පොලිසියේ අපරාධ අංශය මඟින් ඊයේ (08දා) විහාරාධිපති හිමි අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සිදු වූ පෙරේදා (07) දිනයේ පොලිසිය විසින් සිවිල් ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබිණි. ඔහුගේ ප්‍රකාශ සහ සෙසු පිරිසගේ ප්‍රකාශය අතර දැඩි පරස්පරතාවක් ඇති බව දැන ගන්නට තිබේ.

පිං කැටය කැඩීමට පැමිණි බව කියමින් විහාරස්ථාන පරිශ්‍රයේදී පහර දී මියගිය මැණික්හින්න ඉද්දමල්ලියගොඩ ප්‍රදේශයේ පදිංචි චමිල සුධීර රත්නායක (43) නමැති හිටපු යුද හමුදා සෙබළාගේ මළ සිරුර විහාරස්ථානයේ ගරාජයේ තිබී පොලිසිය සොයාගනු ලැබුවේ පෙරේදා අලුයම් කාලයේදීය.

විහාරස්ථාන පරිශ්‍රයට ඇතුළු වූ පුද්ගලයාට පුද්ගලයින් කිහිපදෙනෙකුම ඉතා දැඩි ලෙස පහර දී තිබෙන බවට මියගිය පුද්ගලයාගේ ශරීරයේ දක්නට ලැබෙන තැලීම් තුවාලවලින් තහවුරු වන බව පොලිසිය පවසයි. මෙම පුද්ගලයා අලුයම 3.30ට පමණ විහාරස්ථාන භූමියට ඇතුළු වී තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

විහාරස්ථානයට ඇතුළු වූ පුද්ගලයාගේ අත්පා ගැටගසා අමානුෂික ලෙස පහර දී පැය ගණනාවක් යනතුරුම සිද්ධිය සම්බන්ධයෙන් විහාරස්ථානය මඟින් ඔහු රෝහල් ගත කිරීමට හෝ පොලිසිය දැනුවත් කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් පොලිසයට බරපතළ සැකයක් මතුව තිබිණි.

සිද්ධිය වාර්තා වීමත් සමග එය ආවරණය කිරීමට පෙරේදා උදෑසන එහි ගිය මාධ්‍යවේදීන්ට ද බැන වැදී විහාරස්ථාන සීමාවෙන් පිටව යන ලෙස විහාරාධිපති හිමි තර්ජනය කර තිබේ.

මහනුවර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවීම මත පොලිස් අධිකාාරි එන්. ඉලංගකෝන්, මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුරේෂ් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment