විශේෂඥ වෛද්‍ය චමල් සංජීව යළි රාජකාරි අරඹයි

87

මාස 17කට ආසන්න කාලයක් වැඩ තහනමකට ලක්කොට සිටි, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා ඊයේ (8 දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී යළි රාජකාරි භාරගත්තේය.

දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධව බරපතළ තත්ත්වයක් ඇතිවන බැවින්, ඒ ගැන අවධානය යොමු කරන්නැයි ඒ මහතා සිදු කළ ප්‍රකාශයක් මත හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත යන මහත්වරුන්ගේ නිර්දේශයෙන් චමල් සංජීව මහතාගේ වැඩතහනම් කළේ 2022 වර්ෂයේ නොවැම්බර් මාසයේ දීය.

දැනට අධිකරණය හමුවේ විභාග වන ප්‍රශ්නගත ඉමියුනොග්ලොබියුලින් පිළිකා ඖෂධ වංචාව සම්බන්ධයෙන් ද පළමුවරට ජනමාධ්‍ය ඔස්සේ රට දැනුවත් කරන ලද්දේ ඒ මහතා විසිනි.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා හා හිටපු සෞඛ්‍ය ලේකම්වරයා සිදුකළ වරද නිවැරදි කළ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයාට තමන් ස්තූතිවන්ත වන බවත්, බදු ගෙවන ජනතාව වෙනුවෙන් තමන්ගෙන් බලාපොරොත්තු වන යුතුකම් හා වගකීම් රාජ්‍ය නිලධාරීවරයකු ලෙස මින් ඉදිරියට ද අඛණ්ඩවම ඉටුකරන බවත් ඒ මහතා සඳහන් කළේය.

පසුගිය කාලසීමාවේදී තමා වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිට හඬක් නැඟූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන්ට ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට හා සියලුම වෘත්තීය හා සිවිල් සංවිධාන නායකයන්ට ද ආගමික නායකයින්ට ද ඔහු ස්තුතිය පුද කළේය. තමා සමග අඛණ්ඩවම මෙම සටනේදී එකට සිටගත් සියලුම ජනමාධ්‍ය සිහිපත් කළ ඔහු, ජනමාධ්‍ය නොවන්නට රටේ සෞඛ්‍ය අර්බුද යටපත් වන බැවින් ජනමාධ්‍යවලට නැවත නැවතත් ස්තුතිය පුදකරන බව ද සඳහන් කළේය. කෙටි කලක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සේවය කිරීමට බලාපොරොත්තු වන බවත්, ඉන්පසුව ලැබෙන ඕනෑම තනතුරක වගකීම භාර ගැනීමටත්, වෘත්තීය හා සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් තම අරගලය සහ සටන අඛණ්ඩවම සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.

වෘත්තීය හා සිවිල් ව්‍යාපාර වෙනුවෙන් සංජය මහවත්ත, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන, ආනන්ද පාලිත, තුෂාර රණදේව, චානක ධර්මතිලක ඇතුළු පිරිසක් ඔහු පිළිගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ සිටියහ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment