කමිඳු මාර්තු මාසයේ අයිසීසී ක්‍රීඩකයා වෙයි

81

බංග්ලාදේශයට එරෙහිව පසුගියදා පැවති පළමු ටෙස්ට් තරඟයේ ඉනිම් දෙකේදී ශතක වාර්තා කරමින් ලෝක වාර්තාවක් තැබූ කමිදු මෙන්ඩිස් මාර්තු මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (අයිසීසී) ක්‍රීඩකයා ලෙස නම් කර ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී ) මගින් ඊයේ (8 වැනිදා) නිල වශයෙන් ඒ බව ප්‍රකාශයට පත් කළේය.

බංග්ලාදේශ තරග සංචාරයේ පළමු ටෙස්ට් තරගයේදී කමිදු ශතක දෙකක් ලබා ගත් අතර ඉන් පළමු ඉනිමේදී කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 57කට බිඳ වැටී තිබූ මොහාතේ පිටියට පිවිසි ඔහු නායක ධනංජය ද සිල්වා සමග එක්ව ද්විත්ව ශතක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

එහිදී කමිඳු, ලකුණු 102ක් ලබා ගත් අතර දෙවැනි ඉනිමේදී යළිත් කණ්ඩායමේ බර කරට ගනිමින් නායක ධනංජය සමඟින් දක්ෂ පිතිකරණයක නිරත වූ ඔහු දෙවැනි ඉනිමේ දී ද ලකුණු 164ක් රැස්කර ගත්තේය.

ඒ අනුව ඉනිම් දෙකේදීම ශතක වාර්තා කිරීමට කමිදු සමත් වූ අතර එම දක්ෂතාවය අංක 7 හෝ ඊට පහළ පිතිකරුවකු ටෙස්ට් තරගයක ඉනිම දෙකේ දීම ශතක දෙකක් රැස්කළ පළමු අවස්ථාව ලෙස ලෝක වාර්තා අතරට එක් විය.

තරගාවලියේ දෙවැනි තරගයේ පළමු ඉනිමේදී ද නොදැවී ලකුණු 92 ක් ලබා ගනිමින් ටෙස්ට් පිතිකරුවෙකු තම පළමු ඉනිම් හතර තුළ ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව (ලකුණු 419) සම කිරීමට ද කමිදු සමත් වූයේය.

එම වාර්තාව කමිදු සමග දරනුයේ පකිස්ථානයේ ජාවෙඩ් මියැන්ඩාඩ් වේ.

එසේම දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ බංග්ලාදේශ කඩුලු 3 ක් ලබා ගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වූ කමිදු එම ටෙස්ට් තරගයේ සහ තරගාවලියේ වීරයා බවටද පත් විය.

කමිදුට අමතරව නවසීලන්තයේ මැට් හෙන්රි සහ අයර්ලන්තයේ මාක් අදිර් ද අයි.සී.සී. මාර්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී සිටියහ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment