බුළුගහ හන්දියේ මාරක අනතුරෙන් විශ්‍රාමික මේජර් නෝනා මරුට

949

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ බුළුගහ හන්දිය ප්‍රදේශයේදී පෙරේදා (17 වැනිදා) පෙරවරුවේ ලොරි රථයක් හා යතුරු පැදියක් ගැටී සිදු වූ අනතුරකින් යතුරු පැදියේ පසුපස ගමන් ගත් යුද හමුදා විශ්‍රාමික මේජර්වරියක මියගොස් තිබේ.

මියගිය අය කඩවත දූනගහ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයකු බව පොලිසිය සඳහන් කරයි.

ඇය සිය සැමියා සමඟ යතුරු පැදියේ කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් ගිය ලොරි රථය එක්වරම යූ හැඩයට හැරවීම නිසා මෙම අනතුරට මුහුණ පා ඇත.

ලොරි රථය අපරීක්‍ෂාකාරී ලෙස මාර්ගයේ එක්වරම හැරවීමේදී පසුපසින් පැමිණි මෝටර් රථයක්ද එහි ගැටී ඇති අතර යතුරු පැදිය ලිස්සා ඉදිරියට ඇදී ගොස් ලොරි රථයේ බඳෙහි ගැටීමෙන් මියගිය මේජර්වරිය හා ඇගේ සැමියා බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මේජර්වරිය මියගොස් ඇත. ලොරි රථයේ රියැදුරා පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරයි.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment