අක්කර අඩි එක්ලක්‍ෂ දහදාහ හතළිස් අටදාහට බස්සන මින්නේරියවැවේ ජල ධාරිතාව අඩු කරන කූට කෙටුම්පත වහා ඉවත් කරගන්න

326

ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් එල්. එම්. එස්. බණ්ඩාර
මහසෙන් රජු වැව හැදුවේ ගොවීන්ට වතුර දෙන්න මිස අලි පෙන්වා මුදල් හොයන්න නොවේ

මින්නේරිය වැවේ ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්ෂ දහදාහක් වුවත් එය අක්කර අඩි 70000ත් 48,000ත් අතර මට්ටමේ නිරන්තරයෙන් රඳවා තබා ගැනීමේ සැලැස්මක් පිළිබඳ කෙටුම්පතක් සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බව මින්නේරිය ව්‍යාපාර ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් එල්. එම්. එස්. බණ්ඩාර මහතා ඊයේ (01 දා) පැවසීය.

මින්නේරිය ව්‍යාපාර ඒකාබද්ධ ගොවි සංවිධානය ඊයේ හිඟුරක්ගොඩ නුවර වත්ත ප්‍රදේශයේ දී පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් කතාකළ බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

“මින්නේරිය වැවේ ජල ධාරිතාව නිරන්තරයෙන් අඩි 70000 ත් 48000 ත් අතර ප්‍රමාණයක රඳවා තබා ගැනීමට සැලසුමක් කෙටුම්පත් කර ඇති බවට අපට දැන ගැනීමට ලැබී තිබෙනවා.

මහසෙන් රජතුමා මින්නේරි වැව හැදුවේ ගොවීන්ට ජලය නිකුත් කිරීම සඳහා. නමුත් මෙම කෙටුම්පත් සකස් කර ඇත්තේ වැවේ ජලය අක්කර අඩි 70000 මට්ටමේ රඳවා තබා ගැනීම සඳහායි. එසේ කර විදේශිකයන්ට අලි පෙන්නා විදේශ විනිමය උපයා ගැනීමේ සැලසුමක් තමයි ඔවුන් සතුව තිබෙන්නේ. ඒකට අපි තරයේ විරුද්ධ වෙනවා. ඉකුත් යල කන්නයේදී පවා ඉතාමත් අපහසුවෙන් තමයි ගොවීන්ට ජලය ලැබුණේ. මෙවරත් මෙවැනි දෙයක් කළොත් ගොවීන්ට ජලය නැතිව යනවා. මින්නේරි ජලාශයෙන් තමා කවුඩුල්ල හා කන්තලේ ජලාශවලට ජලය නිකුත් කරන්නේ. එමනිසා අපි දිවි පරදුවට තබා මේ ගන්න ක්‍රියාමාර්ගයට විරුද්ධව කටයුතු කිරීමට සූදානම්. මින්නේරි වැවේ ජල ධාරිතාවය අක්කර අඩි 110000 නොතබා අක්කර අඩි හතළිස්අට දහසත් හැත්තෑ දහසක් අතර ප්‍රමාණයක නිරන්තරයෙන් තබා ගැනීමේ කූට කෙටුම්පත ඉවත් කරගන්න යැයි අපි

වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා. වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා, මහවැලි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හා ත්‍රිකුණාමලය හා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරු ගිවිසුම සඳහා අත්සන් තැබීමට නියමිත බව අපට වාර්තා වී තිබෙනවා. ඔවුන් මෙම ගිවිසුම අත්සන් කළොත් මින්නේරිය වැවේ රඳවාගත හැකි උපරිම ජල ධාරිතාවය අක්කර අඩි 70,000 බවට පත්වෙනවා. මෙම මාධ්‍ය හමුව සඳහා මින්නේරිය ව්‍යාපාරය ඒකාබද්ධ ගොවි සංවිධානයේ උප සභාපති ඩබ්ලිව්. එම්. සී. යූ. රත්නායක, ගල්අමුණ ගොවි සංවිධානයේ සභාපති බන්දුල මහානාම ඇතුළු ගොවි නියෝජිතවරු පිරිසක් සහභාගී වූහ.
හිඟුරක්ගොඩ – අතුල සූරිය බණ්ඩාර සහ මින්නේරිය – සුසිල් කරුණාතිලක

advertistmentadvertistment
advertistmentadvertistment