දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය නොමඳව දිනාගත් සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමල නගරය හඳුනාගත හැකිය. එක් පසෙකින් නැගී සිටින ෆෙඩ්රික් බලකොටුවත්, රමණීය මුහුදු තීරයත් හැරුණු කොට ත්‍රිකුණාමලයටම සුවිශේෂී සුන්දරත්වයක් ලෙස නිදැල්ලේ සැරිසරන තිත් මුව රංචුව හඳුනාගත හැකිය.

ෆෙඩ්රික් බලකොටුව ආශ්‍රිතව හා නගරයේ උද්‍යාන හා වෙරළ තීරයේ දවස පුරා සැරිසරන මුව රංචු කාගෙත් නෙත් සිත් ඇද ගන්නා දසුනකි.මෙම මුවන්ගේ ව්‍යාප්තිය හා බැඳුණු ඉතිහාසය පිළිබඳව විමසා බලන විට පුරාවෘත්ත කිහිපයක් අපට හමු වනු ලැබේ.

එකී එක් පුරාවෘත්තයක සඳහන් වන පරිදි වර්තමාන කෝනේශ්වරම් දේවාලය පිහිටා ඇති ස්ථානයේ අතීතයේ පිහිටා තිබී ඇත්තේ ගෝකන්න විහාරස්ථානයයි. විදේශීය ආක්‍රමණ හේතුවෙන් ගෝකන්න විහාරස්ථානය කඩා බිඳ දමා කෝනේශ්වරම් දේවාලය ඉදි කරනු දුටු යම් පුද්ගලයකු ගෝකන්න විහාරය ඉතාමත් අනුහස් සහිත තැනක් බව පවසමින් එය විනාශ කිරීමට ඉඩ නොදී එය රැකගන්නා ලෙස භාරයක් වී ඇති අතර ඔහුගේ භාරය නම් විහාරස්ථානය රැක දුන හොත් මුවන් ජෝඩුවක එම පින් බිමට මුදාහරින බවත් ය. එසේ විනාස කළ ගෝකන්න විහාරස්ථානයේ නටබුන් අදටත් ඒ ආශ්‍රිතව මුහුදු පත්ලේ දැකගැනීමට හැකියාව පවතින බව සාගර ගවේෂකයන් ද සඳහන් කරයි. කෙසේ නමුත් එම පුද්ගලයාගේ පරම්පරා කිහිපයකට පසු පරම්පරාවක පුද්ගලයකු විසින් එම භාරය ඔප්පු කිරීම පිණිස ගෝකන්න විහාරස්ථානය එකල පැවති වර්තමාන කෝනේෂ්වරම් භූමියේදී මුවන් ජෝඩුවක් පූජා කර නිදහස් කර ඇති බව හා එමගින් මෙම මුව පරපුර පැවත එන බව පුරාවෘත්තයන්හි සඳහන් වේ. එමෙන්ම වර්තමානය වන විට පුරාණ ගෝකන්න විහාරය සිහිවීම පිණිස අභිනවයෙන් ඉදිකරන ලද ගෝකන්න විහාරස්ථානය ෆෙඩ්රික් බලකොටුවට ඇතුළු වන දොරටුව අබියස සිට වම් පසකින් අපට දැකගත හැකිය.

කෙසේ නමුත් ත්‍රිකුණාමලයට ම සුවිශේෂී සුන්දරත්වයක් වූ මෙම නිදැල්ලේ සැරිසරන තිත්මුවන් ලෝකයේ ජීවත් වන මුව විශේෂ කිහිපය අතර ආසියාතික අපිටම උරුම වූ මුවා ලෙස හඳුනාගත හැකිය. ලඳු බිම් සහ වනාන්තර ආශ්‍රිතව සුලභ වුවත් වියළි කලාපයට අයත් වනාන්තර ප්‍රදේශ හා තෙත් කලාපයේ ඇතැම් ප්‍රදේශවල ද තිත් මුවන් දැක ගත හැකිය. Axis Axis යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තිත්මුවා සුන්දර සත්වයකි. තවද චිටාල් ලෙස ද මොවුන් හඳුන්වනු ලබයි. රංචු වශයෙන් ජීවත්වන තිත් මුව රංචුවක ගැහැනු, පිරිමි හා කුඩා පැටවු දැකගත හැකිය. හොඳින් වැඩුණු නීරෝගී ශක්තිමත් පිරිමි සතෙකු රැලෙහි නායකත්වය දරනු ලබයි. සාමාන්‍යයෙන් වැඩුණු තිත් මුවෙකු දිගින් අඩි හතරයි අඟල් 11 ක ප්‍රමාණයකින් යුක්ත වන අතර කිලෝග්‍රෑම් අසූවකට ආසන්න බරකින් යුතු ය. රතු පැහැයට හුරු දුඹුරු පැහැගත් සිරුරේ සුදු පැහැති තිත් බෙල්ලේ සිට යටිබඩ පෙදෙස දක්වාම හා පාදවල ද දැක ගැනීමට හැකිය. පිරිමි සතුන්ට පමණක් ශක්තිමත් අං තට්ටුවක් පිහිටන අතර කාලයකට වරක් එය හැලී ගොස් නැවත වර්ධනය වීමක් දැකගත හැකිය. අං සියුම් රෝම පිහිටි සමකින් ආවරණය වී ඇති අතර එහි ඇති කේශ නාලිකා මගින් වර්ධනය සඳහා අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් පෝෂක කොටස් ලබාදීම සිදුකරනු ලබයි.

ගෝකන්න මිග පරපුරේ ඉරණම

ශාක භක්ෂක වන මොවුන් තණකොළ, ළපටි අතු ඉති, දලු පත්‍ර, පලතුරු වර්ග හා එළවළු වර්ග ආහාරයට ගනු ලබයි. මුඛයේ උඩු සහ යටි හනු වල පුරස්චාර්වක සහ චාර්වක දත්වල පිහිටීම මගින් ශාක කොටස් හොඳින් අඹරා ආහාරයට ගැනීමට හැකියාව ලැබී ඇත.

මුව දේනුව මාස 7ක පමණ ගැබිනි කාලයකින් පසු එක් පැටවකු පමණක් බිහි කරන අතර පඳුරු සහිත ආරක්ෂිත තැන් මේ සඳහා තෝරා ගනු ලබයි. සාමාන්‍යයෙන් මුවකුගේ ආයු කාලය වසර පහළොවක් පමණ කාලයක් බව ද සඳහන් වේ.

කෙසේ නමුත් ත්‍රිකුණාමල සුන්දරත්වය වූ මේ මිග පරපුර වර්තමානයේ යම් යම් ඛේදනීය තත්ත්වයන්ට මුහුණ දී ඇති ආකාරයක් අප කළ සංචාරයේ දී අපට දැක ගැනීමට හැකි විය. එනම් සතුන්ගෙන් එල්ල වන බලපෑමත්, නගරය තුළ සිදුවන අවිධිමත් කසළ බැහැර කිරීමත් හේතුවෙන් මොවුන් පොලිතීන් ආහාරයට ගැනීමට හුරු වීම ඒ අතර ප්‍රධාන තැනක් ගෙන ඇත. ඊට අමතරව විවිධ රෝගයන්ට ගොදුරු වීමත් හේතුවෙන් මේ වනවිට මුවන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ පා ඇති ආකාරයක් අපට දැක ගැනීමට හැකි විය. සංචාරක ආකර්ෂණය දිනාගන්න මෙම සුන්දර දසුන ටිකෙන් ටික තර්ජනයට ලක් වෙමින් පවතින බවක් අප කළ සොයා බැලීමේදී අපට දැකගත හැකි විය.

ප්‍රදේශවාසීන් සමග අප කළ අදහස් විමසා බැලීමකදී ඔවුන් අපට පවසා සිටියේ ඉතාමත් අනුවේදනීය කතාවන්ය.

මිනිස්සුන්ගෙන් හිරිහැර නොමැතිවීම නිසා නිදහසේ නිදැල්ලේ සැරිසරන මොවුන්ට මිනිසුන්ගෙන් ලැබෙන ආදරය, කරුණාව හා ආරක්ෂාව ශක්තියක් වුවත් අද වන විට ඔවුන්ට තර්ජනයක් වී ඇත්තේ ද එයම බව අපගේ සොයාබැලීම්වලදී හෙළි විය. මෙම මුවන් මිය යෑමට හේතුවක් වී ඇත්තේ පොලිතින් ආහාරයට ගැනීම හා ජනතාව විසින් ලබාදෙන පැණි රස කෑම, පාන්, බිස්කට්, රසකැවිලිවලට හුරු වීම හේතුවෙන් සොබාදහම විසින් නියම කළ ආහාර රටාව පරයා යෑමත් මෙකී අවිධිමත් ආහාර රටාවට හුරු වීමත් බව සොයාබැලීම් වලදී හඳුනාගත හැකිවිය.

කෝනේෂ්වරම් ආශ්‍රිත වෙළෙඳසැල් හිමිකරුවකු වන කරුණාරත්න හපුආරච්චි මහත්මා අප සමග කියූ කතාව මෙසේය.

“මුවෝ විතරක් නෙමෙයි වඳුරෝ, රිළව්, මොනරු වගේ ගොඩාක් සත්තු මේ හැමතැනම ඉන්නවා. ඔක්කොම අයිති වනජීවී එකට. එයාල බලාගන්න භාර දීල තියෙන්නෙ වනජීවී එකට. මුවෝ රණ්ඩු වෙලා හරි මුවෝ තුවාල වුණාම එහෙම අපි අපිට පුළුවන් විදියට බලනවා. මම මට පුළුවන් හැටියට බෙහෙත් ගෙනල්ල මගේ ළඟ තියාගෙන ඉන්නේ. බෙහෙත් දානවා මම. සමහර දවස්වලට කුණු ගඳක් එනවා බැලුවම මුවෙක් මැරිල එක්කෝ අඟක් හරි කොහේ හරි තුවාල වෙලා ඒ තුවාල කුණුවෙලා. එහෙම තුවාල වුණාට පස්සේ ඌ යන යන තැන ගඳයි. බලාගන්න කෙනෙක් හරියට නැති එක තමයි මේ හැමදේටම එකම ප්‍රශ්නය.

මුල්ලේ අයියා කියලා කෙනෙක් ඉන්නවා. එයා එයාගේ සල්ලි වලින් කෑම ගෙනල්ලා දෙනවා. දවසට දෙපාරක් එනවා. උදේටයි හවසටයි. එයාගේ බයික් එකේ සද්දේ ඇහෙනකොට මුවෝ දන්නවා එන්නේ එයා කියලා. එයා ගේන්නේ එළවළු, පලතුරු, පාන්, බනිස් වගේ ඒවා.”

වැඩිදුරටත් අප සමඟ අදහස් දක්වමින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා නිලධාරී මන්දාරම්නුවර චන්දානන්ද හිමි පවසා සිටියේ මෙවන් කතාවකි.

“ත්‍රිකුණාමලේ මේ මුවෝ බලන්න ගොඩක් පිරිස් පැමිණෙනවා. බොහෝ රටවල්වල අය සමඟත් කතා කරාම ඔවුන් කිව්ව දෙයක් තමයි මෙම හීලෑ මුවන් ආශ්‍රය කරන්න, එයාලා එක්ක ජීවත්වෙන්න, එයාලා එක්ක ඡායාරූප ගන්න ගොඩක් කැමතියි කියන එක. මේ මුවන් රැකගන්න අපිට කරන්න පුළුවන් හැම කැප කිරීමක්ම අපි කරනවා. මුවන්ට නිදහසේ ජීවත්වෙන්න අවශ්‍ය පරිසරය උදාකර දෙන්න අපි සියලුම දෙනා කටයුතු කරගෙන යනවා.

ඒ වගේම තමයි මේ වෙනකොට මුවන් රැක ගැනීම සඳහා රැකගැනීම සඳහා මුවන්ට තර්ජනයක් වෙලා තියෙන සාධක ඉවත් කරගෙන යනවා. විශේෂයෙන්ම සංරක්ෂක වැඩපිළිවෙළක් විධිමත් අයුරින් ඉදිරියට කරගෙන යනවා.

මුවන්ට හානිදායක වන කම්බි වැටවල්, යකඩ වැටවල් වගේ අපි ඒ වගේ දේවල් අයින් කරගෙන යනවා වගේම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ත්‍රිකුණාමලය නගරය සම්පූර්ණයෙන්ම පොලිතින් වලින් තොර කලාපයක් කරන්න සහ අපි මේ වන විට ඒ සඳහා අවශ්‍ය නීති රීති පුරාවිද්‍යා එකත් එක්ක එකතුවෙලා හදාගෙන යනවා. මුවන් රැකගන්න සහ ඔවුන්ට නිදහසේ ඉන්න අවශ්‍ය පරිසරය උදාකර දෙන්න ත්‍රිකුණාමලය අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ එකතු වෙලා අපි විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අදාළ සැලසුම් මේ වන විටත් හදාගෙන යනවා.”

එමෙන්ම ත්‍රිකුණාමලයට එන සංචාරකයන් සමගද අපි අදහස් හුවමාරු කිරීමක් කරගත්තා. එහිදී කැනේඩියානු සංචාරක තරුණියක වූ ඹිය් ඍ්ඩස සොයුරිය පැවසුවේ මේ වගේ ලස්සන කතාවක්.

“මෙයාලා දකිනකොට මගේ හිතට සතුටක් දැනෙනවා. එයාලා හරිම ලස්සනයි. මම ආසයි මෙයාලට. අපි කාර් එකේ යනකොට පාරේ මෙයාල ඉන්නවා දැකලා තමයි මෙතෙන්ට ආවේ. එයාලගේ සන්නිවේදනය හරිම හොඳයි. පවුලක් වගේ රණ්ඩු නොවී ඉන්නවා.”

කෙසේ වෙතත් සංචාරය අතරතුර අපට දැකගැනීමට හැකිවූයේ මුවන් සංරක්ෂණය කිරීමේ අරමුණින් රජය විසින් වුවන් සඳහා වෙන්කර ඇති බිම් කොටස් මේ වන විට සාමාන්‍ය උයන බවට පත්ව ඇති බවකි. ඒ හේතුවෙන් ඒවා නිසි අයුරින් ප්‍රතිසංස්කරණය වන්නේ නම් ඉතාමත් අගනේය. එමෙන්ම අසනීප තත්ත්ව හේතුවෙන් දැඩිව පීඩාවට හා වේදනාවට ලක්ව සිටින මුවන් ද අප විමර්ශනයේ දී දැකගත හැකි විය. ඒ හේතුවෙන් වගකිවයුතු බලධාරීන් මොවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වේද යන්න ගැටලුවක් බවට පත්ව ඇත.

නිදැල්ලේ සැරිසරන මෙම මුව රංචුව ත්‍රිකුණාමල නගරයට ම එක්කරන්නේ සුවිශේෂී වටිනාකමකි. එමෙන්ම සංචාරක ආකර්ෂණය ද නොමඳව දිනාගන්නා මෙම මුව රංචුව රැකගැනීම තුළින් සංචාරක කර්මාන්තය නගා සිටුවීමට හා ඒ සඳහා මුවන්ගේ දායකත්වය ලබාගැනීමට නම් ඔවුන් රැකබලා ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තකි.

අපට සේම ලොවටම දුර්ලභ වූ සම්පතක් වන මුවන්ට නිසි වටිනාකමක් හිමි විය යුතුමය. මේ අහිංසක ජීවිතවල වගකීම කා සතු වන්නේද යන්න සොයා බැලිය යුතු සේම අදාළ බලධාරීන් ඒ පිළිබඳ අවධානයෙන් ද යන්නත් විමසීමට ලක් කළ යුතුමය. සත්ව ලෝකයේ අහිංසකයා බේරා ගැනීම හා රැක ගැනීම ඔබ අප කාගේත් වගකීමකි.

චින්තනී වික්‍රමනායක

advertistmentadvertistment
advertistmentadvertistment