අනුබුදු මිහිඳු හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ අසිරිමත් පුදබිම…

600

විස්මිත රජගලින් රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ස්තූප 08ක් හමුවේ…
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යාඥයන්ගේ විශිෂ්ට මෙහෙවර..
වනස්පතියට යට වුණ ලංකාවේ විශාලතම පුදබිම….

පෙර රජ දරුවන්ගේ පහසින් පිබිදුන දිගාමඩුල්ලේ විස්මිත පුදබිමක් තිබේ. හෙළ කලාකරුවාගේ ලොව මවිත කරවන හැකියාව පිළිබිඹු වන සිය දහස් ගණනක අති විශිෂ්ට නිර්මාණයන් පිරී ඇත. නුවර අම්පාර මාර්ගයේ මහඔය දෙසින් හෝ අම්පාර සිට උහන මාර්ගයේ කිලෝ මීටර් 27ක් ගිය විට මෙම අසිරිමත් රජගල ඉපැරණි පුදබිම හමුවේ.

දුටුගැමුණු රජ සමයේ සද්ධාතිස්ස කුමරුන් දිගාමඩුල්ලේ සිය පිරිවර යොදා සරුපස පෙරළා අස්වද්දා රටටම බත දුන්හ. ගව්වෙන් ගව්ව වෙහෙර විහාර ඉදිකළහ. ක්‍රි. පූ. 161 සිට 138 තෙක් රජ කළ සද්ධාතිස්ස රජුට ලජ්ජතිස්ස සහ ථුල්ලත්තන නම් පුතුන් දෙදෙනෙක් විය. වැඩිමහල් පුතු වූ ලජ්ජතිස්ස කුමරු විසින් මෙම මහා පින්බිම කරවූ බව පැවසේ. එම නිසා තිස්ස යන නාමයත්, රජගල කන්ද ඈතට වැතිර සිටින කිඹුලෙක් සේ දිස්වන නිසා කිඹුලාට කුම්භිල යැයි පවසන හෙයින් කුම්භිල එක් කොට මෙම අසිරිමත් කඳු වැටියක පිහිටි පුදබිම ගිරි කුම්භිල පබ්බ තිස්ස විහාරය ලෙස භාවිතා විණි. පසුව රාක්ෂ හෙළ ලෙසද ඉන් පසුව රජගල ලෙසට මෙම පුදබිම හැඳින්විණි..

අනුබුදු මිහිඳු හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ අසිරිමත් පුදබිම…

කුභලව තිස් තව් වෙහෙර, අරියාකර විහාරය, අරිට්ඨාරා වෙහෙර යන නම්වලින්ද මෙම පුදබිම හඳුන්වා ඇත. එසමයේ අරියවංශ සූත්‍රය වාර්ෂිකව මෙම පුදබිමේ පවත්වා තිබීම නිසා එලෙස නම් ලැබී තිබේ.

වසර සිය දහස් ගණනක් දිගාමඩුල්ල මිටියාවත පාළුවට ගොස් මහා වනස්පතියට යටවිය. රජගලද ඒ අයුරින් මිනිස් ඇසෙන් වසංව පාළුවට යන්නට විය. නැවතත් ගල්ඔය ව්‍යාපාරයත් සමග ජනාවාස වුණ විට මෙම රජගල පර්වතයේ තිබුණ ස්ථාන කිහිපයක් පමණක් මිනිසුන්ගේ නෙත ගැටුනාහ. ඒත් නිධන් සොරුන් නම් මෙම කඳුවැටිය පීරා පැරණි පුරා වස්තු විනාශ කළහ. ස්ථූප දෙපලු කළහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හැකි ආකාරයෙන් මෙය රැකගැනීමට කටයුතු කළේ ඉතාම සුවිශේෂී ස්ථානයක් බැවිනි.

අනුබුදු මිහිඳු හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ අසිරිමත් පුදබිම…

ලෙන්, දාගැබ්, එළිමහන් ගොඩනැඟිලි, පෙත්මන්, පොකුණු, පාලම්, ගල් කොරි, වැව්, යබොර නිස්සාරණය කළ ස්ථාන, බැමි, ප්‍රාකාර, සිය දහස් ගණනක් මෙම පුදබිම පුරාවට දක්නට ලැබේ. මේ වන විට රජගලින් ලෙන් ලිපි 45ක්, ගිරි ලිපි 16ක්, පුවරු ලිපි 06ක්, ටැම් ලිපි 02ක්ද මෙම පුදබිමෙන් සොයාගෙන තිබේ.

2012 වසරේදී එවකට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා රජගල කැණීම් සිදුකරන්නට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එවකට උපකුලපති ආචාර්ය ටී. එන්. එල්. කරුණාරත්න මහතා සමග ගිවිසුම්ගත විය. පූජ්‍ය දඹර අමිල හිමි සමායෝජක අධ්‍යක්ෂ ලෙසද, මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ගවේෂණ හා පර්යේෂණ අධ්‍යක්ෂ ලෙසද, මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මහතා කැණීම් පිළිබඳ අධ්‍යක්ෂ ලෙසද, මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා සංරක්ෂණ අධ්‍යක්ෂක ලෙසද, මහාචාර්ය පද්මසිරි කන්නංගර මහතා ඓතිහාසික කටයුතු භාර පර්යේෂණ අධ්‍යක්ෂක ලෙසද කටයුතු අරඹන්නට වූහ.

මැනුම් කටයුතුවලින් අක්කර 275ක් පමණ රජගල පූජා භූමියට අයත් වුවද එම මැනුම් සීමාවෙන් පිටතද බොහෝ ඉපැරුණි ස්මාරකයන් දක්නට ලැබේ. ඒ අනුව බලන කළ අක්කර 2000කට ආසන්න ප්‍රදේශයක් අතීතයේ රජගල පුණ්‍ය භූමියට අයත්ව තිබුණි. ඒ අනුව බලන කල රජගල ලංකාවේ විශාලතම පුරාවිද්‍යා ස්මාරකයන් සහිත භූමිය ලෙස සැලකිය හැක.

ප්‍රථමයෙන් ගවේෂණය කරමින් පසුව තෝරාගත් ස්ථාන කැණීම් හා සංරක්ෂණය කරන්නට විය. ඒ සඳහා දිනපතා සේවකයන් සහ නිලධාරි මහත්වරුන් ඇතුළු 125ක් වූ පිරිසක් වසර දහයක් පුරාවට අව් වැසි මැද මැසි මදුරු සේනා සමග ඔට්ටු වෙමින් සේවය කළහ. ඒ නිසා ලොවම මවිත කරවමින් පැරණි හෙළ කලාකරුවාගේ විස්මිත නිර්මාණ රැසක් ලොවට දැකගැනීමට හැකිවිය. එය දුටුවන් මවිත කරවන සුළුය. අනුරාධපුරයට පොළොන්නරුවට නොදෙවෙනිය.

මිහිඳු හිමි පිළිබඳව කියවෙන ලංකාවේ එකම සෙල්ලිපිය මිහිඳු හිමියන්ගේ ලංකා ගමන පිළිබඳව වංශ කතාවල සඳහන්ව තිබුණද ඒ පිළිබඳව සඳහන්ව ඇති එකම සෙල් ලිපිය පිහිටා ඇත්තේ මිහින්තලාවේ නොව ඓතිහාසික රජගල පුදබිමේ ගල් තලාවකය.

“යෙ ඉමදිප පටමය ඉදිය අගතන ඉධික තෙර මහිද තෙරහ තුබෙ’ මේ දිවයිනට පළමුවෙන්ම ඉර්ධියෙන් නැතහොත් සමෘද්ධිය පිණිස පැමිණියාවූ ඉත්තිය තෙරුන්ගේ හා මහින්ද තෙරුන්ගේ ථූපයයි යනුවෙන් එහි සඳහන් වෙයි.

අනුබුදු මිහිඳු හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ අසිරිමත් පුදබිම…

මෙම ව්‍යාපෘතියේ කැණීම් කටයුතු භාර අධ්‍යක්ෂ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මහතා මෙම අසිරිමත් පුදබිම පිළිබඳව මෙලෙස කීවේය. රජගල නවතම සොයා ගැනීම වන්නේ, මිහිඳු හිමියන්ගේ සෙල් ලිපිය තිබෙන සහ භෂ්මාවශේෂ තැන්පත් කර තිබෙන දාගැබට නුදුරින් කැණීම් කරලා කුඩා දාගැබ් 08ක් හමු වුණා. මෙය ඉත්ථිය හිමි ඇතුළු සමකාලීන රහතුන් වහන්සේලාගේ භෂ්මාවශේෂ තැන්පත් කරන ලද සුසානයක් බවට විශ්වාස කරනු ලබනවා. තවත් මෙවැනි දාගැබ් එම ස්ථානයේ තිබෙන්නට පුළුවන්. මෙම පුදබිමේ ස්ථූප දෙකක් සංරක්ෂණය කළා. තවත් ස්ථූපයක් සංරක්ෂණය කරමින් තිබෙනවා. ළෙන් දෙකක් සංරක්ෂණය කළා. දාන ශාලාව, උපෝෂතාගාරය, ජන්තාඝර, ලහබද්දය, යන ස්ථාන රැසක් සංරක්ෂණය කළා.

මෙම පුදබිමේ මුළුමනින් සංරක්ෂණය කළ දාගැබ වටා සිරිපතුල් ගල් තිබෙනවා. ඒවාට ඉහළින් පත්‍ර දණ්ඩක සවිකර පත්‍රයක් දක්නට ලැබෙනවා. ලංකාවේම මෙවැනි දෙයක් දක්නට ලැබෙන්නේ රජගලින් පමණයි. ඇමෙරිකන් තානපති කාර්යාලය මගින් අවස්ථා දෙකකදී ලෝකයේ මෙවැනි ස්ථාන සඳහා ආධාර ලබාදීමේ තරග දෙකකදී රජගල ව්‍යාපෘතිය ජයග්‍රහණය කළා. පළමු අවස්ථාවේ ඇමෙරිකන් ඩොලර් ලක්ෂයක් හා දෙවන අවස්ථාවේ ඩොලර් ලක්ෂ එකහමාරක් මෙම පුදබිම සංරක්ෂණ ව්‍යෘපාතිය සඳහා ලබා දුන්නා. ඒ වගේම විදේශීය ඉතිහාසඥයන් හා එක්ව ළෙනක පරීක්ෂණයක් සිදු කළා. එම කැණීම්වලින් මීට වසර 10,000ත් 12000ත් අතර ලංකාවේ විසූ ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳව තොරතුරු ලැබුණා.

අනුබුදු මිහිඳු හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ අසිරිමත් පුදබිම…

නැගෙනහිර පළාතෙන් ප්‍රාග් ඓතිහාසික මානවයන් පිළිබඳව තොරතුරු හමුවන එකම ස්ථානය රජගලයි.

ඒ වාගේම රජගලින් ලෙනක් තුළ වැසිකිළියක් හමුවුණා. ස්වභාවික පරිසරයත් සමග බද්ධ වූ ලෙස එය සකසා තිබුණා. එවැනි දෙයක් ලංකාවෙන්ම හමුවූ ප්‍රථම අවස්ථාවයි. ඒ වාගේම මෙම පුදබිමේ ලෙන් 100කට අධික ප්‍රමාණයක් තිබෙනවා. ඉන් 25ක්ම ශීත ළෙන්. අතීත ශිල්පීන් ඉතා විශීෂ්ට ආකාරයෙන් ලෙන්වලට සිසිලස ලැබෙන ආකාරයෙන් සකසා තිබුණා. ඉදිරියේදී රජගල ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය මගින් කටයුතු යොදා තිබෙනවා. ලංකfවේ කිසිම ස්ථානයක් ජාතික උරුමයක් ලෙස නම් කරලා නැහැ. ප්‍රථම වතාවට රජගල ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ අදහසක් තිබෙනවා. මෙම ස්ථානයේ ක්‍රි. පූ. 02වන සියවසේ සිට අනුරාධපුර සමය දක්වා තොරතුරු තිබෙනවා. ඒ වාගේම මහාවංශය, දීපවංශ වැනි වංශ කථාවල මෙම පුදබිම පිළිබඳව තොරතුරු සඳහන් වෙලා තියෙනවා. වසර දෙදහසකින් පසුව මෙම පුදබිමේ අරියවංශ සූත්‍රය දේශනා කළා. මේ වන දෙස් විදේස් බැතිමතුන් මෙම ස්ථානයට පැමිණ වන්දනා මාන කරනවා. ඉදිරියේදී දේශීය විදේශීය සංචාරකයන් මෙම පුදබිමට වැඩි වශයෙන් ගෙන්වා ගෙන සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට මේ වන විට වැඩපිළිවෙළක් සකස් කරගෙන යමින් සිටිනවා. මෙම පුදබිම නරඹන්නට, වන්දනා මාන කරන්නට කඳු මුදුනට යෑමට අපහසු අය සඳහා වාහනයකින් කඳු මුදුනට යෑමට වෙනත් ප්‍රවේශ මාර්ගයක් සකස් කරන ලද බව ඇලෙක්සැන්ඩර් කපුකොටුව මහතා පවසන්නට වූවේය.

අනුබුදු මිහිඳු හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ අසිරිමත් පුදබිම…

මිහිඳු හිමියන් ලංකාවට පැමිණියේ ඉන්දියාවේ සිටය. ඒ නිසා ඒ පිළිබඳව සෙල් ලිපියද රජගල ලියැවී තිබෙන නිසා ඉන්දීය තානාපති කාර්යාලයේ අවධානයද මෙම පුදබිම වෙත යොමුව තිබේ. ඒ අනුව ලක්වැසියන් දඹදිව වන්දනාමාන කරන්නට උත්සාහ දරන ආකාරයෙන් ඉන්දියන් ජනතාවද අසිරිමත් රජගල දැකගන්නට සංචාරය කරන්නට ඉන්දීය තානපති කාර්යාලය හරහා සිදුවන්නේ නම් එය රටට සුබදායක පණිවිඩයකි.

නැගෙනහිර පළාත සුරකීමේ සංවිධානයේ සභාපති අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ගම්පහ නාරද හිමියන් මෙලෙස අදහස් දක්වන්නට වූහ.

බුදු සමිඳුගේ පාපියුමෙන් පූජනීය වුණ දිගාමඩුල්ල පුරවරයේ තිබෙන අනුබුදු මිහිඳු හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ අසිරිමත් පුදබිමක් තමයි රජගල කියන්නේ. මීට වසර 10කට පෙර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ ඉතිහාසඥයන් විසින් මෙම පුදබිමේ කළ ගවේෂණ, කැණීම්, සංරකෂණ කටයුතු ආරම්භ කළා. පැමිණි බාධක මැදින් මේ වන විට ලොවම මවිත කරවන සුළු ඉපැරණි උරුමයන් රැසක් නැවතත් ලෝකයාට ඒ අනුව දකින්නට හැකිව තිබෙනවා. මිහිඳු හිමියන් පිළිබඳව සෙල් ලිපියක ලියා ඇති එකම ස්ථානය වන්නේ රජගලයි. ඒ වාගේම මීට දින කිහිපයකට පෙර එම ස්ථානයට නුදුරින් ඇති රහතුන් වහන්සේලාගේ භෂ්මාවශේෂ යැයි අනුමාන කරන කුඩා දාගැබ් සමූහය තවත් විශිෂ්ට සොයා ගැනීමක්. පස් ගොඩැලිවලට යටව ගිය ඉපැරණි උරුමය නැවතත් ප්‍රති නිර්මාණය කිරීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් පිරිවර ප්‍රමුඛ ඉතිහාසඥයන් ඉතා විශිෂ්ට ආකාරයෙන් සිදුකරමින් තිබෙනවා.

අනුබුදු මිහිඳු හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ අසිරිමත් පුදබිම…

ඇතැම් පුරාවිද්‍යා නිලධාරීන් සමහර අවස්ථාවල කටයුතු කරන්නේ නිද්‍රාශීලීව. නමුත් දිගාමඩුල්ලේ පිං බලයෙන් අතීතය තුළින් වර්තමානයට ලැබුණ ප්‍රෞඩ උරුමය වර්තමානය තුළින් අනාගතයට මේ ආකාරයෙන් දායාද කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥයන්ට අපගේ ගෞරව ප්‍රණාමය පුද කරනවා. 2022 වසර නිමා වෙද්දි ඔවුන්ගේ දස වසරක ඒ විශිෂ්ට මෙහෙවර නිමාවට පත්වෙනවා. අපි නැවතත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥයන්ගෙන් ඉල්ලීමක් කරනු ලබනවා ඉදිරියේදීත් මේ ආකාරයෙන්ම දස වසරක් කළ ආකාරයෙන්ම මෙම රජගල පුදබිමේ අසිරිය ලොවට විවර කරල දෙන්න කියලා. එදා ආචාර්ය සෙනරත් දිසානායක මහතා රජගල භාරදී තිබුණේ හොඳම ඉතිහාසඥයන් පිරිසට බව අද ඔවුන් ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා. ඔබලා මෙම දස වසරක කළ ඒ මෙහෙවර අද දුටු දුටුවන් මවිත කරවන්නට සමත් වෙලා තිබෙනවා.

අපි ඉදිරියේදී නැගෙනහිර සුරකීමේ සංවිධානය විලසින් මෙම අසිරිමත් පුදබිමේදී දුර්ලභ ඖෂධ, චතු මධූර, අෂ්ඨ විධ පාන පූජා, විලඳ මී පැණි පූජා, කිරි ආහාර හා පුෂ්පෝපහාර පූජා සහිතව රජ දවසින් පසු වසර දෙදහසකින් පසුව සිදු කරන ප්‍රථම විශේෂිත රාජකීය පූජාවක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් පූජ්‍ය ගම්පහ නාරද හිමියෝ පවසා සිටියහ.

මෙය පුරාවිද්‍යා ස්මාරකයන්වලට පරිසරයත් සමග බද්ධ වුණ සෞන්දර්ය වටිනාකමක් ලැබුණු අපූරු පුදබිමකි. මීට දස වසරකට පෙර කඩා දමා තිබූ ගල් පාත්‍රය සහිත ස්මාරකය නැවතත් පෙර රජ දවස මෙන් ඉදිව ඇත. දාන ශාලා වැනි විවිධ ගොඩනැඟිලි නැවතත් අතීත අභිමානය පිළිබඳව ලොවට හඬගා කියමින් සිටිති. ගලින් කරන ලද හෝරා යන්ත්‍රය අනුරපුර යුගයට අයත්ය. මීට දස වසරකට පෙර රජගල කඳු මුදුනට පා තැබූ අයකු අද එහි ගියහොත් පුදුමයෙන් පුදුමයට පත් වෙනු ඇත. විස්මිත නිර්මාණ දැක දෑසට සතුටු කඳුළු උනනු ඇත. එවිට රජගල නොදුටු දෑස් කුමකට දැයි සිතෙනු ඇත. එන්න රජගල අපේ උරුමය දකින්නට.

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment