ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවි නම්…

98

ප්‍රවීණ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ අතුල ශ්‍රී ගමගේ පසුගිය 06 වැනිදා සිය දිවි සැරිය නිමා කළ අතර මියැදෙන විට ඔහු 60 වැනි වියෙහි පසුවිය.

90 දශකයේ ජනප්‍රිය ගායකයන් අතුරින් ‘ආත්මයෙන් ආත්මයේ…’ විශාරද නිහාල් ගම්හේවා ලියා සංගීතවත් කළ ගීතයෙන් ශ්‍රාවක සිත් සතන් දිනාගත් අතුල ශ්‍රී ගැයූ නිහාල් ගම්හේවා විසින්ම ලියා සංගීතවත් කළ ‘නිල් නුවන් පියවිලා…’ ගීතය ද ජනාදරයට පත් විය. 1992 වසරේ සිය පළමු කැසට්පටය වූ ‘මුතු කඳුළු සලා’ කැසට්පටය එළිදක්වන ඔහු ඉන්මතුව ‘කෝකිල වසන්තේ’ කැසට්පටය එළිදැක්වීය.

එමෙන්ම ‘පාරාදීසේ ඈ හා යාවෙලා’, සුසුම වී, සුසුමන් පාවී හැඟුමන් යාවී, කර බඳින රත්තරන්, මුතු කඳුළු සලා, කෝකිල වසන්තේ, පෙම් ලොව දුක් ගිනි, හිම මීදුම් වළාකුලේ වැනි ගීත රැසක් ගයා ඇති අතුල ශ්‍රී අදටත් එදා මෙන්ම ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙකි.

2008 වසරේ දෙසැම්බර් 05 වැනිදා පණ්ඩිත් අමරදේවයන්ගේ 81 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඔස්කා සංගමය සංවිධානය කළ උපහාර උත්සවයේ දී මා ඔහු ඡායාරූප ගත කළ අතර, එදින ඔහු මට පවසා සිටියේ හෙතෙම මහාචාර්ය සනත් නන්දසිරිගේ සිසුවෙකු බවය. එදින ඔහුගේ ආලේඛ්‍ය ඡායාරූප කිහිපයක් මෙන්ම ඔහු මහාචාර්ය සනත් නන්දසිරි – මල්කාන්ති නන්දසිරි යුවළ සමග මෙන්ම ආචාර්ය නන්දා මාලනිය සමග ද සිටින ඡායාරූප කිහිපයක් මවිසින් ලබා ගත්හ.

දෙල්දූවේ ඥාණසුමන හිමි විසින් විරචිත මයුර වික්‍රමරත්න සංගීතවත් කළ ජාතික ප්‍රාර්ථනා ගීතයට මම ද හඬ මුසු කළ අතර මාත් සමගින් එම ගීතය ජ්‍යෙෂ්ඨ ගායනවේදිනී අමිතා වැදිසිංහ, ප්‍රවීණ ගායකයන් වන සෝමසිරි මැදගෙදර සහ අතුල ශ්‍රී මෙන්ම ‘කොල්ලයි කෙල්ලයි’ සංගීත කණ්ඩායමේ දිස්නා ද ගායනා කළාය.

ගෙවුණු කාලයේ ඉකුත් ජනවාරි මස පැවැත්වුණු ලිහිණි හෙට්ටිආරච්චිගේ විවාහ උත්සවයේ සහ ආනන්ද වෛද්‍යසේකරගේ ප්‍රසංගයේ දී මා ඔහුගේ නව ඡායාරූප ගත්ත ද මේ තරම් ඉක්මන් වී ඔහු මෙලෙස අපෙන් වියෝ වේවි යැයි කිසි දිනෙක නොසිතුවෙමි. නමුත් ජීවිතය නම් එයමැයි යළි යළිත් පසක් කොට ඔහු අපෙන් නික්ම යන්නේය.

ආදරණීය අතුල ශ්‍රී, ඔබට නිර්වාණ සුවය දුරක නොවේවායි පිංපෙත් පමුණුවමි!!!

මුහුණුපොතේ සටහනකින් උපුටා ගන්නා ලද්දකි.

● දයාන් විතාරණ

advertistmentadvertistment
advertistmentadvertistment