මෛත්‍රීගේ කාල බෝම්බය සහ පොහොට්ටුවේ උභතෝකෝටිකය!

1654

ආණ්ඩුවත් රාජපක්ෂවරුනුත් හිරවී සිටින දේශපාලන උභතෝකෝටිකය වන ජනාධිපතිවරණයද? මහ මැතිවරණයද? යන සමාජ දේශපාලන සංවාදය යටපත් කරමින් අතිශය ආන්දෝලනාත්මක මාතෘකාවක් සමාජගත වී තිබේ. ඒ වූ කලී හිටපු ජනාධිපතිවරයකු මෙන්ම ශ්‍රී.ල.නි.ප. සභාපතිවරයාද වන මෛත්‍රිපාල සිරිසේන විසින් පාස්කු ප්‍රහාරයෙහි මහ මොළකරු පිළිබඳව කරන ලද අනාවරණයකි. එම ප්‍රහාරයේ මහ මොළකරු කවරෙක්දැයි නිශ්චිතව දැනගැනීමට තබා එනිසා විපතට පත්ව සිටින කිතුනු ප්‍රජාව ඇතුළු අනෙක් අයට මෙතෙක් යුක්තිය ඉටු නොවූ බව කිතුනු නායකයෝ පුන පුනා පවසති. 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයෙහි එල්ල වූ එම ම්ලේච්ඡ ප්‍රහාරය මෙරටේ සිදුවූ බරපතළම ඛේදවාචකයකි. දැන් එම සාහසික ප්‍රහාරයට වසර පහක් ගතවීමටද ආසන්නය. එහෙත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිසි අධිකරණ ක්‍රියාදාමයක් සිදුවී නැති බවටද ප්‍රබල විවේචනයක් තිබේ. එසේ වුවද හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ එදා (2019) සිටි ආරක්ෂක ලේකම් හා බුද්ධි අංශයේ ඉහළම නිලධාරීන් රැසකටම එම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් නම් අධිකරණය විසින් වන්දි මුදල් ගෙවන ලෙසටද නියෝග කරනු ලැබ ඇත. එහෙත් කුහුඹුවෙකුට තරම්වත් වරදක් නොකළ දෙසිය හැත්තෑ හතකට නොඅඩු පිරිසකට මරු කැඳ වූ හා පන්සියයක් ඉක්ම වූ පිරිසක් ආබාධිතයන් බවටද පත්කළ ඒ රුදුරු ඛේදවාචකයේ කඳුළු කිසිදිනක නොසිඳෙන බව පමණක් අපි ලියා තබමු. ඒ ප්‍රහාරයේ කම්පනය ඒ සා බිහිසුණුය.

මේ මහා ඛේදවාචකය අවස්ථාවාදී දේශපාලනඥයන්ට විවිධ ප්‍රතිලාභ, නිලබල ලබාගැනීම සඳහා ඉවහල් වූ බවද රහසක් නොවේ. එනිසා කවුරුන් විසින් වුවද ඒ සම්බන්ධයෙන් සිදුකරනු ලබන හෙළිදරව්වක් දෙස දේශපාලන දෘෂ්ටි කෝණයකින් බැලීමටද සමාජය පුරුදු වී සිටියි. ඒවා දේශපාලන නාටක ලෙසද සමහරු හෙළා දකිති. එහෙත් මෙවර නම් එයට වඩා වෙනස් අනාවරණයක් සිදුවිය හැකි බව පවසන පිරිසක්ද සිටිති. එයට හේතුව මෙම අනාවරණය සිදුකරනු ලබන්නේ එම ඛේදවාචකය සිදුවූ කාලයේ රටේ රාජ්‍ය නායකයා ලෙසද සිටි මෛත්‍රී වීම නිසාය. මෙරටේ මෙතෙක් සිදුවී තිබෙන බොහෝ සමාජ ඛේදවාචකවලට දේශපාලන සෙවණැලි වැටී තිබුණු බවද රහසක් නොවේ. බොහෝවිට දේශපාලන වේදිකාවල හා වෙනත් මාධ්‍ය සංවාදවලද කෙරෙන ඇඟවීම්, ඇඟිලි දිගු කිරීම් නිසා සත්‍යයට වඩා අසත්‍ය සමාජගත වන බවද අපි දනිමු. එපමණක් නොව මැතිවරණයක් ආසන්න වනවිටද සමාජ ආන්දෝලනයන්ට තුඩු දුන් අතුරුදන්වීම්, ඝාතන සිදුවීම්, දූෂණ හා ගසාකෑම් පිළිබඳ විවිධ පුවත් සමාජගත කිරීමේ ප්‍රවණතාවක්ද වේ. ඒ අනුව මළවුන්ගේ ලෝකයේවත් නිදහසේ සැතපෙන්නට නොදී ලසන්ත වික්‍රමතුංග, තාජුඩීන්, රිචඩ් ද සොයිසා වැනි විවිධ චරිත දේශපාලන ප්‍රතිලාභ සඳහා කැඳවන අලජ්ජීහුද සිටිති.

කෙසේ වුවද මහජන විරෝධතා මැද ජනාධිපති ධුරය හැර ගිය ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද ‘කුමන්ත්‍රණය’ නමැති කෘතියෙහිද මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සඳහන් කර තිබුණි. ගෝඨාභයගේ නිරීක්ෂණය අනුව තහවුරු වන්නේද එවක සිටි ජනාධිපති මෛත්‍රීගේ පාලන සමයේදී ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවක් ලබා නොදීම මේ ප්‍රහාරයට අවකාශ ලැබුණු බවය. (2015-2019 කාලය) එපමණක් නොව 2021දී විශ්‍රාම ගිය නීතිපති දප්පුල ද ලිවේරා විසින්ද රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශ කර තිබුණේ මෙම ප්‍රහාරය පසුපස මහා කුමන්ත්‍රණයක් තිබෙන බවය. මෙම ප්‍රහාරය පිළිබඳ සිදුකළ විමර්ශන මෙන්ම ජනාධිපති කොමිසමේ වාර්තා පිළිබඳවද සෑහීමකට පත්විය නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමියෝ දැඩිව ප්‍රකාශ කළහ. එයට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් කරන ලද පැහැදිලි කිරීම්ද පළවූ ආකාරය අපට මතකය. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් හත් සියයකට වැඩි පිරිසක් සිටින බවද සඳහන් විය.

මේ පසුබිම තුළ එවක සිටි ජනාධිපතිවරයාද වන මෛත්‍රීගේ ප්‍රකාශයක් ඉන් හෙළිවන පාස්කු ඝාතකයන් පිළිබඳවත් රටට හෙළි කිරීම මේ ආණ්ඩුවේද වගකීමකි. මේ සටහන ලියන මොහොත වන විටද මෛත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සිය ප්‍රකාශයද සිදුකර පිටවගොස් තිබුණි. පැය පහකට නොඅඩු කාලයක් පුරා මෛත්‍රී විසින් ලබාදෙන ලද ප්‍රකාය අනුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.

මෛත්‍රීගේ ප්‍රකාශය පිළිබඳ දේශපාලන හා සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම නීති ක්ෂේත්‍රයෙහි ඇතැම් කෙනෙක් විසින්ද අදහස් පළකරනු ලැබ ඇත. දේශපාලන විකට සන්දර්ශනද ඒ අතර දැකගත හැකි විය. ඒවා කිසිවක් බැරූරුම් ලෙස සැලකිය යුතු නැත. එහෙත් දේශපාලන කාලබෝම්බයක් ලෙස දැනටමත් ඇතැමුන් විසින් හඳුන්වනු ලබන මෙම සිද්ධියෙහි සත්‍යතාව මෙන්ම එහි පසුබිමද රටට හෙළි වේ නම් එය අප්‍රමාණ සහනයකි. මේ අපරාධය නිසි ලෙස හෙළි කිරීම ඒ ප්‍රහාරයෙන් දිවි අහිමි වූ අයට මෙන්ම ඉන් වින්දිතයන් බවට පත්ව සිටින සියල්ලන්ටම යුක්තිය ඉටු කිරීමක්ද වනු ඇත. අපි ඒ අවස්ථාව ඉක්මනින්ම උදාවේවායිද ප්‍රාර්ථනා කරමු.

දැන් අපි සමාජ දේශපාලන අංශවල අවධානය යොමුව තිබෙන අනෙක් ප්‍රමුඛ මාතෘකාව වන ආණ්ඩුවත් – රාජපක්ෂවරුනුත් මැදිවී සිටින දේශපාලන උභතෝකෝටිකය පිළිබඳව අවධානය යොමු කරමු. ඉකුත් සතියකටත් වැඩි කාලයක් සමාජ මාධ්‍ය විසින්ද මේ සම්බන්ධයෙන් විවිධ පුවත් වාර්තා කර තිබුණි. ඒවා නිශ්චිත තොරතුරුම නොවූවත් ඒවා අනුව අපට නිගමනය කළ හැක්කේ පාලකයන් සහ ඔවුන් අයත් ප්‍රභූ පන්තිය මුහුණ දී සිටින අර්බුදයේ ගැඹුරත් එහි බරපතළ බිඳ වැටීමත්ය. 2024 වසරේ නියත වශයෙන්ම පැවැත්විය යුතුව තිබෙන ජනාධිපතිවරණයට මුහුණදීමට පාලකයන්ට සහ ඔවුන්ගේ පාර්ශ්වකරුවන්ට තිබෙන භීතිය සැඟවිය නොහැක. එළැඹෙන කවර මැතිවරණයකදී වුවද රාජපක්ෂවරුන් හා රනිල් ද අයත් වන සම්ප්‍රදාය හා ඔවුන් විසින් නඩත්තු කරන ලද දේශපාලන ක්‍රමය නැතහොත් සම්ප්‍රදාය එහි අවසානයට පැමිණෙන බව මේ පාලකයෝ දනිති. තමන්ම රවටා ගනිමින් කරනු ලබන ඒ ප්‍රභූ පාර්ශ්වයන්ගේ දේශපාලන ප්‍රකාශ හිස් හා බොල් ඒවා බව ජනතාවද දනිති. තවමත් මේ රටේ වැඩිම ජනබලය ඇත්තේ පොහොට්ටුවට බව එහි නිර්මාතෘ බැසිල් විසින් කරනු ලබන ප්‍රකාශය අප තුළ ඇති කරන්නේ හාස්‍යයක්ම නොවේ. එය ඔවුන්ගේ දේශපාලන අවිද්‍යාව පිළිබඳ සංඥාවක්ද වේ. තමන්ගේ පක්ෂයට එබඳු ජන ප්‍රසාදයක් වේ නම් ඔවුන්ට ජනාධිපතිවරණය ගැටලුවක් විය යුතුද නැත. එහෙත් බැසිල් මෙන්ම එහි නායකයා වන මහින්ද පවසන්නේත් ජනාධිපතිවරණයෙන් ලැබෙන ප්‍රතිඵලය නිසැකයෙන්ම මහ මැතිවරණය කෙරෙහි බලපාන බවය.

මේ දේශපාලන බොරදියෙහි යළි පොහොට්ටු පිපෙනු ඇතැයි දේශපාලනයෙන්ම මහලු වූ මහින්ද කල්පනා නොකිරීමද ඉතා නිවැරැදිය. මහින්ද සුළඟේ ඉදිරියෙන්ම සිටි උදය ගම්මන්පිල දින කීපයකට පෙර චෝදනා කළේ තමන් ඇතුළු ජාතිකත්ව කඳවුරද එක්ව පරාජයට පත් කරන ලද දේශපාලන පසමිතුරා වන රනිල් වික්‍රමසිංහට ඒ හැටනව ලක්ෂයේ ජනවරම පාවාදීම ද්‍රෝහීකමක් බව කියමින්ය. ඔහුට අනුව මෙරටේ විපක්ෂ ඒකාබද්ධ වෙමින් රනිල්ගේ දේශපාලනයට එරෙහිව කරන ලද අරගලය ගෝඨාභය විසින් පාවාදෙනු ලැබ ඇත. එපමණක් නොව 69 ලක්ෂයක සිතුම් පැතුම් ඉටු කිරීම පසෙක දමා බැසිල් රාජපක්ෂ හා ජුලි චන්ග් යන ඇමෙරිකානුවන් දෙදෙනා පිනවීමට ගෝඨාභය ක්‍රියාකළ බවද ගම්මන්පිල පවසා ඇත. (උත්තර ලංකා සභාව මහරගම තරුණ සේවාහිදී කළ හමුවකදී මේ බව පවසා ඇත.)

දේශපාලනයේ හැටි එහෙමය. කලකදී වහලු කලකදි රස වෙනවාලු යන ජනවහර කොතරම් සැබෑවක්ද? ඇත්තටම ප්‍රබුද්ධ ජනතාවට අද තිබෙන එකම ප්‍රශ්නය වන්නේද මෙසේ ගොඩනැඟී කැඩී බිඳී යන දේශපාලනඥයන් හා ඔවුන්ගේ බොහෝ ක්‍රියාකාරකම් නිසා බහුතර ජනතාවකට වන්දි ගෙවීට සිදුවීමය. ඇමෙරිකානු පුරවැසි බැසිල් තවමත් මෙරටේ දේශපාලන ක්‍රියාන්විතයේ මූලික භූමිකාව මෙහෙයවන පුද්ගලයාය. ඔහු ඇතුළු රාජපක්ෂවරුන්ට එළියට පැමිණ දේශපාලනය කිරීමට වාතාවරණය සකසා දෙන ලද්දේ රනිල් බව ඔහු සිය පාක්ෂිකයන්ටද සිහිපත් කර ඇත. අද තිබෙන දේශපාලන වාතාවරණය අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණයක් ලබාගත හැකි අපේක්ෂකයකු පොහොට්ටුවේ නැත. අදටත් පොහොට්ටුව පිළිබඳ අධි තක්සේරුවක සිටින සමහරුන්ට එදා තම පක්ෂය වැටී සිටි අසරණකම අමතක වී ඇත. කොටින්ම ඒ අර්බුදයේදී ගෝඨාභයට මෙන්ම බැසිල්ටද පොහොට්ටුවේ කිසිම චරිතයක් සිහි වූයේද නැත. ඔවුන්ගේ එකම තෝරා ගැනීම රනිල් විය. රනිල් පාර්ශ්වය විසින් රට අර්බුදයෙන් ගොඩගැනීමට බිය නැතුව ඉදිරිපත් වූ එකම නායකයා රනිල් බවට ව්‍යාප්ත කළ මතවාදයද අද කෙප්පයක් බව ඔප්පු වී තිබේ. ඇත්තටම අපට හැඟෙන පරිදි වුවද රනිල්ට හිමි වූ එම දෛවෝපගත නායකත්වයෙන් රටට වැඩක් කර ගැනීමට හරස් වූයේද පොහොට්ටුවේ බලකාමය විනා අන් දෙයක් නොවේ. ජනාධිපති රනිල්ට මීට වඩා වැඩ කොටසක් කිරීමට මේ අවස්ථාව යොදාගත යුතුව තිබිණි.

මෛත්‍රීගේ කාල බෝම්බය සහ පොහොට්ටුවේ උභතෝකෝටිකය!

ඉහතදීත් සඳහන් කළ පරිදිම අද රාජපක්ෂවරුන් මෙන්ම රනිල් ඇතුළු දක්ෂිණාංශික කඳවුරම (එය විවිධ බෙදීම්වලට ලක්ව තිබේ) භීතියට පත්ව සිටින්නේ තමන්ට අත්විය හැකි ඛේදනීය පරාජයත් එයින් අහිමි වී යන දේශපාලන බලයත් පිළිබඳවය. ගෝඨාභයට ධුරය අතහැර ගෙදරයාමට සිදුවූ දේශපාලන බලවේගයත් එයින් තමන්ට අත්වූ අමිහිරි වේදනාවත් රාජපක්ෂවරුන්ට දැඩිව දැනෙයි. 2022 අරගලය මතුපිට භූමියෙන් ඉවත් කළත් එහි අපේක්ෂාව වෙනත් ආකාරයකින් ප්‍රකාශයට පත් වන බවද ඔවුහු දනිති. ජනාධිපති රනිල්ගේ නිර්දය ප්‍රහාර හමුවේ විසිර ගිය ඒ ජනතා ප්‍රවාහය එක් යෝධ මිටකට නොවූවකි. ඒ තුළ විවිධ අරමුණු සහිත අවස්ථාවාදී පිරිස්ද වූහ. සැබැවින්ම රාජපක්ෂවරුන් තරමක් ඈත්කර තෝරාගත් පොහොට්ටුවේ පිරිසක් සමග ජනාධිපති රනිල් ඉදිරියට ගියේය. අද ඒ පිරිස සමීපව සිටින්නේද ඔහුටය. මේ රටට රනිල්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බව ඔවුන් පවසන්නේද පොහොට්ටුව දේශපාලන වශයෙන් මරණ මංචකයට ළංවෙමින් සිටින නිසාය යන අවබෝධය අන්තර් ඥානයෙන් ලබා සිටින නිසාද විය යුතුය.

අද ජනාධිපති රනිල් සිය පාලනය තුළ තම පන්තියට අභියෝගයක් ලෙස මතු වී සිටින ජා.ජ.බයට වැඩි වියතුන් තමන්ගේම දේශපාලන රුධිරයට කිට්ටු ස.ජ.බයට අඩු වියතුන් දක්වයි. පැරණි අධිපතිවාදී ප්‍රභූවරුන්ට සිය අසුන්වලින් බැස යෑමට කාලය එළැඹී තිබෙන බවද ඔවුහු දනිති. වැඩවසම් දේශපාලන සම්ප්‍රදාය විසින් තමන්ට ලබාදෙන ලද ප්‍රතිලාභ පමණක් නොව සිය දේශපාලන සැඳෑ සමයද අනතුරකට පත්විය හැකි බවද ඔවුන්ට දැනෙයි. ඒ ගතානුගතික දේශපාලනයේ ආයු සංස්කාරය නිමවීමේ ප්‍රබල සංකේතය 2022 ගාලුමුවදොර ජනතා අරගලයයි. එය එහිම වූ අසංවිධානාත්මක භාවය නිසා යටපත් වුවද ඒ අපේක්ෂාව තවමත් ජනතා හදවත තුළ දිදුලමින් තිබේ. එබඳු දේශපාලන පරිවර්තනයකට ජනතාව පෙළගැසෙන්නේ එළැඹෙන ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී බවද මේ ප්‍රභූ පන්තිය දනී.

ජනාධිපතිවරණ පස්සට දමා මහ මැතිවරණය වේලාසනින් පැවැත්වීම ඒ ඛේදනීය පරාජය අවම කරගත හැකි උපක්‍රමයක් ලෙස ඔවුහු කල්පනා කරති. බැසිල් මෙන්ම පොහොට්ටුවේ නායක මහින්ද කල්පනා කරන්නේත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අනුව මහ මැතිවරණයට විශාල බලපෑමක් වන බවය. එහෙත් මහ මැතිවරණයේදී මෙම පවතින ක්‍රමය අනුව පොහොට්ටුවට ජාමෙ බේරාගැනීමට වැඩි ඉඩක් ඇති බව ඔවුන්ගේ ගණන් බැලීමය. බැසිල් ඉඟි කරන්නේද ස.ජ.බය වටා හෝ ගොනුවන ජනබලය තම කඳවුරට සැනසිලිදායක එකක් වනු ඇති බවටය. ආණ්ඩුව, පොහොට්ටුව මෙන්ම සජබයද මේ වනවිට සිය ප්‍රබලම දේශපාලන පසමිතුරා ලෙස දකින්නේ ජා.ජ.බය බවද පෙනේ. එ.ජා.ප.යෙන් කැඩී පැමිණි ඇතැම් අය තවමත් සිය පැරණි නායකයා වන රනිල්ට දක්වන ප්‍රතිචාරවලින්ද තහවුරු වන්නේ යම් තීරණාත්මක අවස්ථාවකදී ඔවුන්ට එජාපය සමග සිටිය හැකි බවය. ජා.ජ.බය ඍජුවම ඒ වැඩවසම් දේශපාලන ක්‍රමයේ විවේචකයා බවටද පත්ව සිටියි. තරුණ හා කාන්තා ආකර්ෂණය ස.ජ.බට වඩා ජා.ජ.බට තිබෙන බව බැලූ බැල්මටද පෙනී යයි.

දිගින් දිගටම මෙරටේ ප්‍රභූ දේශපාලනය විසින් නොතකා හරින ලද සියලු කොටස් අද අඩු වැඩි ලෙස ස.ජ.බයට හා ජා.ජ.බයට එක්වන බවද පෙනේ. පවුල් කේන්ද්‍රීය හා පුද්ගලවාදී දේශපාලනය වෙනුවට අලුත් නායකත්වයක් තෝරා ගැනීමේ අභිලාෂය ජනතාවට තිබේ. එහෙත් ඒ කිසිවක් අවධානයට නොගෙන පාලකයන් ක්‍රියාකරනු ඇතැයි යන අවිශ්වාසය හා සැකයද ජනතාවට තිබේ. විශේෂයෙන් මෙරටේ මැතිවරණ සිතියම හකුළා දැමීමට හා ඒ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම්වලට බාධා කිරීමට ක්‍රියාකළ එ.ජා.ප. ඉතිහාසය මෙන්ම ශ්‍රී.ල.නි.පය ගැනද ජනතාවට මතක තිබේ. ජයවර්ධන පාලන සමය එහිදීත් ඉදිරියෙන් සිටියි. රනිල් ඒ දේශපාලනය සමග පැමිණි නායකයෙකි. ජනමත විචාරණය (1982) ලෙස කුප්‍රකට ‘ලාම්පු කළගෙඩි සෙල්ලම‘ මතක තිබෙන අය දේශපාලනයේ මෙන්ම සමාජයේද සිටිති. අනෙක් අතට අපේ ව්‍යවස්ථාව අනුව වුවද මැතිවරණ පැවැත්වීම පිළිබඳ නිශ්චිත විධිවිධාන නැත. ජනාධිපතිගේ හා පාර්ලිමේන්තුවේ කාලය පිළිබඳ සඳහන් වුවත් නීතිමය කඩතුරාවකින් ඒවා අහෝසි කරන ආකාරයද පාලකයෝ දනිති. මෙම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයේ හරියට බාධා කරන සිදුරුවලින් යුතු බවට විවෘත විවේචනද තිබේ. ජනාධිපති ජයවර්ධන උදන් ඇනුවේ මේ මැතිවරණ ක්‍රමය දිනුවත් දිනුම් – පැරදුනත් දිනුම් එකක් බව පවසමින්ය. වත්මන් ජනාධිපති රනිල් එම ධුරයට පත්වූ ආකාරය තුළින්ද ඒ ව්‍යවස්ථාවේ විස්මිත ස්වරූපය අපට තහවුරු කරනු ලැබ ඇත. මෙම විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් කෙබඳු විවේචන තිබුණත් එය අහෝසි කිරීමට සැබෑ උනන්දුවක් එම ධුරයට පත්වූ කිසිවකුට නොවූ බව පොදුවේ තිබෙන විවේචනයයි. 2015දී රාජපක්ෂ දේශපාලනය අවසන් කරන බව යහපාලන වේදිකාවෙන්ද ඇසුණි. එහෙත් යහපාලනය ගෙදර ගොස් රාජපක්ෂවරුන් යළි බලයට පත්ව ඔවුන්ට අවශ්‍ය පරිදි ව්‍යවස්ථාවට සංශෝධන රැගෙන ආ බවද රහසක් නොවේ. එසේම ගෝඨාභය විධායක පුටුවෙන්ද මහින්ද අගමැති ධුරයෙන්ද ඉවත් කළ 2022 ගාලුමුවදොර අරගලය විසින් තහවුරු කර ඇත්තේ හැම බලයක්ම මහජන බලයට යටත් වන බවය. ගෝඨාභය ජනාධිපති ලෙස ආරූඪ කරගත් බලය තවත් වැඩි කෙරෙන සංශෝධන පවා සම්මත කර ගති. අද 21 වැනි සංශෝධනයෙන් ඒ බලය ආපසු පාර්ලිමේන්තුවට ලබා දී ඇති වුවත් ජනාධිපති රනිල් ඒ කිසිවක් නොතකන බවට බරපතළ විවේචනයක්ද තිබේ. ව්‍යවස්ථා සභාව සම්බන්ධ අර්බුදය ජනාධිපතිවරයාගේ අභිමතය නොතැකීම නිසා උද්ගත වූවකි. දින කීපයකට පෙර ප්‍රකට කාටුන් ශිල්පියකු වන දාස හපුවලානගේ පාර්ලිමේන්තුවටද උඩින් ලබාදෙන විධායකයේ රහ කෙබඳු දැයි විශද කෙරෙන අපූරු කාටුන් චිත්‍රයක් ඇඳ තිබුණි. කුමක් වුවත් ව්‍යවස්ථා සභාව පිහිටුවා තිබෙන්නේ විධායකයේ බලයට සංවරණයක් ඇති කිරීමටය යන අදහස නීතිය පිළිබඳ ප්‍රාමාණිකයන්ගේ පිළිගැනීමය. රජයේ උසස් තනතුරු සඳහා කෙරෙන පත්වීම් ව්‍යවස්ථා සභාවට යොමු කරන්නේද ඒවා වඩාත් පිරිපහදු කරගැනීමේ හා උචිත අනුචිත තාවය තීව්‍ර ලෙස විමර්ශනය කිරීම සඳහාය.

අවසන් වශයෙන් තවමත් විවාදයට තුඩු දී තිබෙන කෝප් කමිටුවේ සභාපති පත් කිරීම සම්බන්ධ සිද්ධියට එරෙහිව නැගෙන විරෝධයෙහි අර්ථය කුමක්ද යන්නත් විමසා බැලිය යුතුය. මෙය පොහොට්ටුවේ වැඩි ඡන්දවලින් ඕනෑම දෙයක් පරාජය කළ හැකිය යන අධි තක්සේරුවෙහි ප්‍රතිඵලයක් බව සමහරු කියති. ඊට වෙනස්ව අදහස් දක්වන අය පෙන්වාදෙන්නේ එය අදාළ විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමෙන් යුතු දූෂණ, අල්ලස් චෝදනාවලින් විවේචනයට ලක්වූ කෙනෙකුට නොලැබිය යුතු ගාම්භීර ධුරයක් බවය. පාර්ලිමේන්තුව තුළ තිබෙන අතිශය වැදගත් කමිටුවක් නියෝජනය සඳහා උචිත විද්වත් භාවයත්, සදාචාර සම්පන්න බවත් එම සභාපති ධුරය උසුලන අයට තිබිය යුතු බවද කියති. පොහොට්ටුවේ ආශිර්වාදය ලැබූ කෝප් කමිටු සභාපතිවරයාගේ වත්කම්, ඉපයීම් ගැන අල්ලස් කොමිසම විසින් පවරන ලද නඩුවක් තිබුණු බවත් ගෝඨාභය බලයට පත්වීමෙන් පසු ඒ වනවිට පවරා තිබුණු ඇතැම් නඩු ඉල්ලා අස්කරගත් බවත් තවත් සමහරුන්ගේ චෝදනාවකි. එසේම හිටපු දේශපාලනඥයකුගේ දියණියක විසින් ලියන ලද (2016 මැයි 14) ලිපියක් මගින් රෝහිතගේ වත්කම්, හිමිකම් ගැන ප්‍රශ්න කළ බවක්ද පළවිය. මේ අනුව ඔහු පිළිබඳ විශ්වාසය පලුදුවීම හුදු දේශපාලනික විරෝධයක්ම නොවන බව පෙනේ. ආණ්ඩුව හා විපක්ෂය එක්ව කෝප් කමිටුවට පත් කරගත යුත්තේ කිසිදු විවේචනයක් (අල්ලස්, දූෂණ පිළිබඳ) චෝදනාවක් නොමැති අය බවද පිළිගත යුතුය. මහජන මන්ත්‍රි යනු ගෞරවනීය තත්ත්වයක් බව පොදුවේ පිළිගත යුතුය. විභාග සහතික, ආචාර්ය, මහාචාර්ය පදවි එයට අවශ්‍යද නැත. එහෙත් එබඳු අභිමානවත් කමිටුවක මුල් පුටුව බබලවන චරිතයක් තෝරා ගැනීමට පොහොට්ටුව පියවර ගත යුතු බවද කියනු ඇසුණි. මේ සිදුවීමෙන්ද තහවුරු වන්නේ පවතින දේශපාලන පරිහානියේම ස්වභාවය නොවේද? රාජපක්ෂවරුන් තම අභිමතයටත් තම සගයන්ටත් පක්ෂපාති දේශපාලන ව්‍යාපාරයක නිරතව සිටින බවය. අඩු තරමින් මෙබඳු විවේචන තමන්ට එල්ල නොවන ආකාරයකට ක්‍රියාකිරීමට හෝ පොහොට්ටුව නම්‍යශීලි නැති බවද මෙයින් පැහැදිලි වේ.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment