පඩි වැඩි කරගැනීමේ කතාවලට මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වෙන්නේ නැහැ – මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ කියයි

37

මම යනවනම් යන්නේ රට වෙනුවෙන් කරන දේ කරන්න බැරි නම් විතරයි

මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ තීරණය නිසා ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා කිසිසේත්ම මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත්ව යන්නේ නැතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (26දා) මහ බැංකු මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

එසේ ඉවත්ව නොයන බව තමා පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බව ද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

මම යනවනම් යන්නේ රට වෙනුවෙන්. කරන දේ කරන්න බැරි නම් මිසක් ආයතනයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ කාරණය නිසා නොවන බව ද මහ බැංකු අධිපතිවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේය.

ආයතනයේ ප්‍රධානියා ලෙස තමාට සේවකයන් සම්බන්ධයෙන් වගකීමක් තියෙන බව ද ඒ නිසා වැටුප් වැඩි කිරීමේ කාරණය ඉවත්වෙලා යන්න හේතුවක් ලෙස තමා දකින්නේ නැති බව ද ආචාර්ය වීරසිංහ මහතා සඳහන් කළේය.

මේ වැඩි කළ වැටුප් වැඩියි කියල යම්කිසි කෙනකුට තර්ක කරන්න පුළුවන්. ඒ අදහස්වලට සහ පාර්ලිමේන්තුවේ අදහස්වලටත් ගරු කරල තමයි මේ ගැන සමාලෝචනය කිරීමේ තීරණය ගෙන තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අලුතින් පත් කරන කමිටුවට පුළුවන් වැටුප් වැඩි කළ ප්‍රමාණය වැඩියි කියන එක අනිත් ආයතනවල වැටුප් වැඩිවීම් එක්කත් සලකලා බලලා යම්කිසි ආකාරයක සාධාරණ නිර්දේශයක් කරන්න. හැකි ඉක්මනින් ඒ තීරණය ගත යුතුයි කියන එකයි අපේ අදහස තියෙන්නේ. එම කමිටුව පත් කිරීමට මුදල් ඇමැතිතුමාත් එකඟ වී ඇති බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් කීවේය.

මෙම මාධ්‍ය හමුවට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් වන ඉවට් ප්‍රනාන්දු සහ නෙලුමානී දවුලගල යන මහත්මීන් ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment