ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සහ පාස්කුව

94

ශ්‍රී ලාංකීය ජනතාවට බිලි පූජා යනු අසා නොමැති නොදන්නා දෙයක් නොවන්නේය. උතුරන තෙල් කටාරමක් තුළ සිල්වත් තෙරුන්වහන්සේ නමක් ගිල්වා මරා දැමීම හේතුකොට ලත් සාපය නිසා මුහුද ගොඩගැලූ බව ඉතිහාසය සාක්ෂි දරයි. දේව කෝපය සංසිඳුවීමට විහාර මහා දේවි මුහුදට බිලි පූජාවක් විය. මුළු මිනිස් සංහතිය වෙනුවෙන් විමුක්තිය උදාකර දීමට මරණින් පසු නිරයට නොයා ස්වර්ගයට (පරලොවට) යෑමට මාර්ගය එළිපෙහෙළි කරදීමට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියක් මත පූජා විය. ඒ පූජාව දෙවියන් වහන්සේ පිළිගත් නිසා උන්වහන්සේව මළවුන්ගෙන් නැඟිටවනු ලැබූ සේක.

ක්‍රිස්තු භක්තිකයන් පමණක් පිළිගන්නා ගැඹුරු සත්‍යතාවයක් ඇත. දේව අනුහසකින් කන්‍යාවකගේ ඩිම්බයකින් උපත ලද ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වීමය. අද උන්වහන්සේ ජීවමානය. බොහෝ ආගම් කතුවරුන්ගේ ශරීර කොටස් පසුකාලීනව සොයාගෙන ඊට වන්දනා මාන කරති. එහෙත් ජේසුස් වහන්සේගේ ශරීරය හෝ එහි කොටස් හෝ ලෝකයේ කිසිදු ස්ථානයකින් සොයාගෙන නැත. යම් තැනක දෙදෙනකු හෝ තුන්දෙනෙකු හෝ මාගේ නාමයෙන් රැස්ව සිටිත් ද එතැන ඔවුන් මැද වැඩ සිටිමි.

(ශු. මතෙව් 18:20)

මහා ඇලෙක්සැන්ඩර්, නැපෝලියන් බොනපාට් යන අධිරාජ්‍යවාදීයෝ මහත් ක්‍රියා කර මැරුණහ. ඒ අයගේ ක්‍රියා අද දක්නට නැත. එහෙත් ජීවමානව සිටින ජේසුස් වහන්සේ අදත් මහත් ක්‍රියා කරමින් සිටින සේක. සිටුවරුන්ට මාලිගා තිබුණේය. උන්වහන්සේට හිස තබන්නට කොට්ටයක් වත් නොමැති අන්ධකාර රාත්‍රියක තරු යට එළියේ උන්වහන්සේ නින්ද ගත කළ සේක.

උන්වහන්සේ ගැන ලියූ පොත් ප්‍රමාණය විශාලය. උන්වහන්සේ තමාගේම මරණය ගැන හා නැවත නැඟිටීම ගැන අනාගත වාක්‍ය මගින් ප්‍රකාශ කළා පමණක් නොව සුබාරංචි පොත් සතරෙම (මතෙව්, මාක්, ලූක්, ජොහාන්) තේමාව වූයේ මරණය සහ උත්ථානයයි. ඉතා විශිෂ්ට සුවිශේෂ සිදුවීම වූයේ පාස්කු ඉරිදාය. උන්වහන්සේ මළවුන්ගෙන් නැඟිටීමයි. සොහොන්ගේ තුළ උන්වහන්සේ එදා හණ රෙදිකඩ විය. හිසට දැමූ කටු ඔටුන්නේ වැගිරු ලේ බිඳු, කස පහරවලින් ගැලූ ලේ ඇලයට ඇන්නවිට ගලා ගිය ලේ, එම රෙදිකඩේ සටහන් වී තිබුණි. රෙදිකඩ 1878 දී ප්‍රසිද්ධ වන්දනාමාන සඳහා ප්‍රථම වරට විවෘත විය. වතිකානු රාජ්‍යයේ අවසරය පරිදි, විදුවියතුන් එය පරීක්ෂා කරන ලදී. එහි මිනිස් රූපයක් ද චිත්‍ර ශිල්පියෙකුගේ නිර්මාණයක් ද නොවන බව ඔවුන්ට තහවුරු විය. උන්වහන්සේගේ සැබෑ ශරීරය බව ඔවුන්ගේ නිගමනයයි. එහෙත් උන්වහන්සේගේ ශරීරය එහි නොතිබිණි. අද උන්වහන්සේ සොහොනක ස්ථිර වී නැත. උන්වහන්සේ ශරීර පිටින්ම උකුත්වීම නිසාය. උන්වහන්සේ අප අතර ජීවමානය.

බර්ට්‍රම් ප්‍රනාන්දු
ශ්‍රී ලංකා කිතුනු ලේඛක සංවිධානයේ කාරක සභික

advertistmentadvertistment
advertistmentadvertistment