වැට් වැඩ පෙන්වයි…. – තෙල් – ගෑස් මිල නගී – ලිට්‍රෝ රු.685කින් – ලාෆ් රු. 755කින්

181

92 පෙට්‍රල් රු. 20 කින්
95 පෙට්‍රල් රු. 38 කින්
ඔටෝ ඩීසල් රු.29 කින්
සුපර් ඩීසල් රු. 41 කින්

රජය විසින් ඊයේ (01 දා) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සහ එල්.පී. ගෑස් සඳහා ද සියයට 18 ක වැට් බද්දක් ඇතුළත් කිරීමත් සමග ඉන්ධන සහ ගෑස් මිල ද ඉහළ දැමිණි.

ඒ අනුව ඊයේ අලුයම 5.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් සංස්ථාව සිය ඉන්ධන මිල සංශෝධනය කරනු ලැබීය.

නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 366 කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 464 කි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 29 කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 358 කි. සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 41 කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 475 කි.

භූමිතෙල් මිල පමණක් රුපියල් 11 කින් පහළ දමා ඇත. එහි නව මිල රුපියල් 236 ක් වේ.

ඛනිජ තෙල් සංස්ථාව මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ඉන්දියන් ඔයිල් සමාගම සහ සයිනොපෙක් සමාගම ද සිය ඉන්ධන අලෙවි සල්වල ඉන්ධන මිල ද ඉහළ දමා ඇත.

මෙහිදී සයිනොපෙක් සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාවට වඩා රුපියල් 3 ක් අඩුවෙනි.

ඒ අනුව සයිනොපෙක් ඉන්ධන අලෙවි සල්වල ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 363 ක් වන අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 355 කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් සුපිරි ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් ඛනිජ තෙල් සංස්ථාව හා සමානය.

ඉන්දියන් ඔයිල් සමාගම ඛනිජ තෙල් සංස්ථාව හා සමානව ඉන්ධන මිල වැඩිකර ඇත.

ගෘහස්ථ කිලෝ ග්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 685 කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 4,250 කි.

කිලෝ ග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 276 කින් වැඩිකර තිබේ. එහි නව මිල රුපියල් 1,707 කි.

කිලෝ ග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 127 කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 795 කි.

මෙම මිල වැඩිවීමට බලපෑ ප්‍රධානම හේතුව එල්.පී. ගෑස් සඳහා රජය විසින් වැට් බදු එකතු කිරීම බව සඳහන් කළ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා, නැවත වරක් මෙම මාසය තුළ ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව ද කීවේය.

ගෘහස්ථ ගෑස් සඳහා වැට් බදු ඇතුළත් නොවුණානම් මෙතරම් මුදලකින් ගෑස් මිල වැඩි නොවන බවත් රුපියල් 3,700 ක් වැනි මිලකට ලබාදීමට හැකියාව තිබූ බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මේ අතර ලාෆ් ගෑස් සමාගම ද ගෘහස්ථ ගෑස් මිල ඉහළ දමා ඇත.

ඒ අනුව කිලේ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 755 කින් ඉහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 4,740 කි.

උපාලි ද සේරම්, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment