රෝහල් වර්ජනයක් අත ළඟ! අවසන් තීරණය අද

90

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීමට මුදල් අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර නොගැනීමට විරෝධය පළකරමින් යළි රට පුරා රෝහල්වල වැඩ වර්ජන ආරම්භ කිරීමේ අවසන් තීරණය අද (27දා) ගන්නා බව එම සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානය පවසයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක නියෝජිතයන් සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා අද කොළඹට කැඳවා ඇතැයි එම සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින’ ට පැවසීය.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පසුගිය 19 සහ 20 දිනවල වැඩ වර්ජනයකට සූදානම් වූ අවස්ථාවේ සෞඛ්‍ය ලේකම්වරයා විසින් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර විසඳුමක් දීමට දින දහයක් ඉල්ලා සිටීම නිසා සිය වාත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීමට එම සන්ධානය කටයුතු කළේය.

එම කාලය හෙටින් (28දා) අවසන් වන බැවින් මුදල් අමාත්‍යාංශයේ අනුමැතියට යොමුකර ඇති සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරන ලද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීමේ යෝජනාවලියට අනුමැතිය දීම තවදුරටත් ප්‍රමාද නොකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද එම සන්ධානය සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment