ධර්මසිරිට ආදරය දෙමු!

608

ධර්මසිරි බණ්ඩාරනායක දැඩි ලෙස රෝගාතුර වී සිටිතියි අසා මම බලවත් සේ කම්පනයට පත්වීමි. මක්නිසාද යත් ඔහු ස්වකීය ජීවිත කාලයම කැප කළේ සිනමාව හා වේදිකාව ඔස්සේ මේ රටේ ජන විඥානය පෝෂණය කරන්නටය. ගෙවල් දොරවල් හදන්නට හෝ යාන වාහන ගන්නට හෝ ආසාවක්වත් වුවමනාවක්වත් ඔහුට නොවීය. සිනමාවෙන් හෝ වේදිකා නාට්‍යවලින් තොර ඔහුට ජීවිතයක් නොවූ තරම්ය. ඔහු ඒවායින් මුදල් ඉපැයුවේද නැත.

රංගනය වුවද ඔහු ආත්ම තෘප්තියක් කර ගත්තා මිස එය වෘත්තියක් කර නොගත්තේය. අවම වශයෙන් තම ජීවිතය පවත්වාගෙන යාහැකි සුරක්ෂිත මඟක් ගැනවත් ඔහු සිතුවේ නැත. මෑත කාලයේ ඔහුට තිබූ එකම අපේක්ෂාව තවත් අලුත් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට අර්ථපතියකු සොයා

ගැනීමය. ‘බවදුක’ සහ ‘බව කර්ම’ අධ්‍යක්ෂණය කොට වසර 30 ක් ඉක්ම ගොස් ඇතත් ඔහුට සිනමාපටයක් නිෂ්පාදනය සඳහා අර්ථපතියකු ඉදිරිපත් නොවීය.

එම නිසාම ධර්මසිරි සෑහෙන කාලයක සිට සිටියේ දැඩි කලකිරීමකිනි. නිර්මාණකරුවකුට නිර්මාණකරණයෙහි යෙදෙන්නට ඉඩ ප්‍රස්ථා ඇහිරීම තරම් කම්පනයක්, වේදනාවක් හා කලකිරීමක් තවත් නැත. ධර්මසිරි ට ඇති අසනීපය එයයි.

ඔහු දැනට නවාතැන් ගෙන සිටින්නේ මහරගම බව කළු රංජිත්ගෙන් අසා දැනගත් විගස වහා ඔහු දකින්නට තිබූ වුවමනාව බලවත් විය. කළු රංජිත් සහ අනිල් ජයවීර දෙමිතුරන් සමග ඊයේ හවස ධර්මසිරි බැහැ දකින්නට යන විට ඔහු නවාතැන ඉදිරිපස වටිනා කමිසයක් සහ සරමක් හැඳ සිනහ මුසු මුහුණින් පුටුවක වාඩිවී සැහැල්ලුවෙන් සිටිනු දැක අපි පුදුමයටත් සතුටටත් පත් වීමු. කිසිදු රෝගී ලක්ෂණයක් ඔහුගේ මුහුණින් පිළිබිඹු නොවීය.

මීට තෙවසරකට පෙර මගේ සිනමා ග්‍රන්ථ හතරක් එළි දැක්වීම නිමිත්තෙන් තරංගනී සිනමා ශාලාවේදී පැවැති උත්සවයකදී ඔහු ප්‍රසිද්ධියේ කියා සිටියේ මාත් සුනිල් මිහිඳුකුලත් ඔහුගෙ ‘හංස විලක් විනාශ කළ බවකි. ඒ ධර්මසිරිය! කියන්න ඕනෑ තැන ඔහු කිව යුතු දේ මූණටම කියයි. (එදින නිකුත්වූ මා ලියූ කෘතියක පිදුම කෙරුණේ ධර්මසිරිටය. යථොක්ත ප්‍රකාශය ඔහු කළේ ඒ පොත ඔහුට පිළිගැන්වූ මොහොතේය!) ඔහුගේ ඒ පිළිවෙත මම අගය කරමි. අපගේ ලෙන්ගතු බවට එය බාධාවක් කර නොගත්තෙමු.

වෛද්‍ය ප්‍රතිකාර කටයුතුවලට පහසුව සඳහා ධර්මසිරි පදිංචිව සිටින්නේ මහරගම දෙමහල් නිවසක පහළ මාලයේය. එය ඔහුගේ නාට්‍යක රඟපාන රංගන ශිල්පියකුගේ පරිත්‍යාගයකි. කළු රංජිත් ප්‍රමුඛ සත්පුරුෂයන් කිහිපදෙනකුගේ දායකත්වයෙන් මාසික වැටුපක් ගෙවා ධර්මසිරි හොඳින් රැක බලා ගන්නා පුද්ගලයකු පත්කොට ඇත.

ධර්මසිරි බණ්ඩාරනායකට දැන් අවශ්‍ය මානසික විවේකය සහ ආදරයයි. ඔහුගේ නිර්මාණවලට දක්වන ආදරයයි. ඔහු දැන් සිටිනවාටත් වඩා සුවපත් මනසින් හෙට දවසේ යළි නිර්මාණකරණයෙහි යෙදෙනු දැකීම අපගේ කැමැත්ත සහ ප්‍රාර්ථනයයි.

  • ගුණසිරි සිල්වා
    (මුහුණු පොතේ ලියූ සටහනකිනි)
advertistmentadvertistment
advertistmentadvertistment