මිලියන 5ක මුදල් බණ්ඩලය අතුරුදන්වීම වංචාවක් – ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකළා නම් EPF එකට හානි වැඩියි – මහ බැංකුව ඊයේ උණුසුම් කළ මාධ්‍ය හමුව

529

තැන්පතු ආරක්ෂා කර විසඳුමක් දුන්නා

9.4% සිට 9.1% දක්වා පොලිය අඩුවෙන්න පුළුවන් ඒත් 2038 වන විට ට්‍රිලියන 12ක් අහිමිවනවා කීම බොරුවක් – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් ඊ.පී.එෆ්. එකට අනිවාර්යයෙන්ම බලපෑමක් තිබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (06 දා) මහ බැංකු මූලස්ථානයේදී “දිවයින” ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

ඊ. පී.එෆ්. එකට ආවස්ථික පිරිවැයක් තිබෙනවා. අපේ ගණන් හැදීමේ හැටියට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකරානම් සාමාන්‍ය පොලිය සියයට 9.4 ක් වීමට තිබුණා. එය මේ නිසා සියයට 9.1 ක් දක්වා අඩුවීම සිදු වෙනවා. ඒකත් නැවත අන්තිම කාලයේදී සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා යැයි ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

එහෙත් වර්ෂ 2038 වනවිට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා අර්ථසාධක අරමුදලට රු.ටි්‍රලියන 12 ක් අහිමි වන බවට කර ඇති පුරෝකථනය සම්පූර්ණ වැරදි හා යථාර්ථවාදී නොවන එකක් යැයි ද මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.

ඔය කියන තර්කයේ අර්ථසාධක අරමුදලේ භාණ්ඩාගාර බැඳුම්කර කළඹේ දැනට තිබෙන සාමාන්‍ය ඵලදාව සියයට 13.5 ක් ලෙස අරන් තිබෙනවා. ඒක උපකල්පනය කරපු දෙයක්. අපි දන්න හැටියට ඊ.පී.එෆ්. එක දිගු හා මාධ්‍යකාලීන අරමුදලක්. දැනට එහි තියෙන සාමාන්‍ය ඵලදාව සියයට 11.5 ක්. බදු ගෙවල ඉතුරු මුදලින් තමයි සාමාජිකයින්ට ප්‍රතිලාභ ලබා දෙන්නේ සියයට 9 ක් පමණ. ඒ නිසා සියයට 13.5 කියන එක විරදි සංසන්දනයක්. වර්ෂ 2038 වනවිට ටි්‍රලියන 12 ක් අඩුවන එක හදල තියෙන්නේ වසර 2038 වෙනකම්ම අර සියයට 13.5 ක ඵලදාව එම බැඳුම්කරවලට ගන්න පුළුවන් කියන උපකල්පනය මතයි. දැනට තියන ඒවාට අමතරව අලුතින් ආයෝජනය කරන බැඳුම්කරවලටත් සියයට 13.5 ක ඵලදාවක් තිබුණත් ඉදිරි වර්ෂ 15 ක් තුළ ඒ එකතුව ලබා දෙන්න නම් උද්ධමනය කොහෙද තියෙන්න ඕන. ඒ සඳහා සියයට 15-18 ක පමණ උද්ධමනයක් තිබිය යුතුයි. කවුරුහරි මේ සඳහා සියයට 13.5 ක ඵලදාවක් වර්ෂ 2038 වෙනකම්ම දෙයි කියලා බලාපොරොත්තු වනවානම් ඒ කියන්නේ කොහොමත් ණය තිරසාර වෙන්නේ නෑ. තව වසර කිහිපයකින් නැවත ණය ප්‍රතිව්‍යුහගතකරණයක් කරන්න වෙනවා එම උපකල්පනය යටතේ. ඒ නිසා මේ පුරෝකථනය යථාර්ථවාදී නොවන සහ මේ ගැන අවබෝධයක් නැතිව කරපු පුරෝකථනයක් බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

එසේත් නැතිනම් මේ ගැන අවබෝධයක් ඇතිව ජනතාව මුලාකිරීමට කරපු පුරෝකථනයක් බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

මේ විසඳුම නැතුව මම හිතන්නේ නෑ මීට වඩා හොඳ විසඳුමක් හෝ රටේ හැමෝටම සාධෘරණ විසඳුමක් ඇති කියලා. රටේ වත්කම් සහ ජනතාවගේ තැන්පතු ආරක්‍ෂා කරගෙන හොඳම විසඳුමක් අපි ඉදිරිපත් කර තිබෙනවා. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකළොත් හැමෝටම, බැංකුවලට. තැන්පත්කරුවන්ට, ඊ.පී.එෆ්. සාමාජිකයන්ට බරපතළ හානියක් සිදුවනවා යැයි ද දිවයින ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා කීවේය.

ප්‍රශ්නය – මහ බැංකුවෙන් මාස තුනකට පෙර අතුරුදන්වූ රු මිලියන 5 ක මුදල් බණ්ඩලය ගැන හෝඩුවාවක් ලැබී තිබෙනවාද?

මහ බැංකු අධිපති – ඔව්. එහෙම වංචාවක් වෙලා තියනවා. එක පන්දහසේ බණ්ඩලයක් තමයි නැතිවෙලා තියෙන්නේ. ඒ සම්බන්ධව අපි දැඩි පරීක්‍ෂණයක් පවත්වාගෙන යනවා. ඒක මේ වෙලාවේ හෙළිදරව් කරන්න අමාරුයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment