පාතාලය – මත්ද්‍රව්‍ය මාස හයෙන් ඉවරයි – වැඩබලන පොලිස්පති සහතික වෙයි

112

රටේ මහා වසංගතයක් බවට පත්ව තිබෙන මත්ද්‍රව්‍ය සහ පාතාලය මාස 06ක කාලයක් තුළ සම්පූර්ණයෙන් පාලනය කිරීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ‘දිවයිනට’ ඊයේ (20 වැනිදා) පැවසීය.

මුළු රට ම ගිලගෙන තිබෙන මත්ද්‍රව්‍ය සහ පාතාලය පාලනය කර රටේ ජනතාවට නිදහසේ සාමකාමීව ජීවත්වීම සඳහා අවශ්‍ය කරන පරිසරය සැකසීමට මෙම මෙහෙයුම් දිගින් දිගට ම ක්‍රියාත්මක කරන බව ද වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේය.

ඉකුත් 17 වැනිදා ආරම්භ කළ යුක්තියේ මෙහෙයුම ලබන 23 වැනිදා අවසන් කිරීමට නියමිතය. එහෙත් මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කරන මෙහෙයුම් නැවත දිගින් දිගටම ක්‍රියාත්මක කරන බව ද තෙන්නකෝන් මහතා කියා සිටියේය.

මේ අතර පොලිසිය විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ‘යුක්තිය’ මෙහෙයුම යටතේ ඊයේ (20 වැනිදා) වනවිට මත්ද්‍රව්‍ය පාතාලය සහ විවිධ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 6583ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

පෙරේදා (19 වැනිදා) දිනයේ දී සිදුකළ වැටලීම්වල දී මත්ද්‍රව්‍ය ජාවාරමට පාතාලයට විවිධ අපරාධවලට සහ සැකකටයුතු ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 2296 කි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment