රෝගීන් මිය ගියේ නිර්වින්දන වරදින්ද

227

ශල්‍යකර්මයක් අතරතුරදී අක්ෂි රෝහලේදී රෝගී කාන්තාවක මියයෑම සහ පේරාදෙණිය ළමා රෝහලේදී දරුවකු මියයෑම නිර්වින්දන ඖෂධයක ප්‍රතිඵලයක් දැයි සැක සහිත බැවින් ඒ පිළිබඳව අපක්‍ෂපාති පරීක්‍ෂණයක් පවත්වා ජනතාවට ඇත්ත ප්‍රකාශ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

රෝහල් පද්ධතියේ සිදුවන සාමාන්‍ය මරණ පවා ඖෂධවල සංකූලතාවන් හෝ තත්ත්වයෙන් බාල ඖෂධ, කල් ඉකුත් වූ ඖෂධ හේතුවෙන් සිදුවන මරණ බවට මේ වනවිට සමාජය තුළ බරපතළ සැකයක් පවතින බවත් පවතින තත්ත්වය යටතේ එම සැකය සාධාරණ වෙමින් පවතින බවත් වෛද්‍යවරයා සඳහන් කරයි.

රට තුළට ලියාපදිංචි නොමැති ඖෂධ පැමිණීමත් ඖෂධ නියාමන අධිකාරිය රසායනාගාර පරීක්‍ෂණවලින් තොරව ඖෂධ නිදහස් කිරීමත්, ගෙන්වන ලද ඖෂධවල තත්ත්වය බාල බව සෞඛ්‍යය අමාත්‍යාංශය පිළිගෙන තිබීමත් ආදී කරුණු ජනමනස තුළ ක්‍රියාත්මක වන බවද හෙතෙම කීය.

තවදුරටත් රෝගී ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කිරීමට වත්මන් සෞඛ්‍ය පරිපාලනයට සදාචාරාත්මක අයිතියක් නොමැති බවද පැවසූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඉතිහාසයේ දරුණුතම කඩා වැටීම සිදුව ඇති සෞඛ්‍ය පද්ධතිය පිළිබඳව ජනාධිපතිවරයාගේ කඩිනම් අවධානය යොමු විය යුතුව ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කර සිටී.

සුජීව තත්සර, ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment