රෝහල් වර්ජනය අඟහරුවාදා තෙක් අත්හිටුවයි

70

දින දෙකක් තිස්සේ දහස් ගණනක රෝගීන් දැඩි අපහසුතාවට පත් කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ (02 දා) පස්වරුවේ සිට ලබන අඟහරුවාදා (06 දා) තෙක් තාවකාලිකව අත්හිටු වූ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා ‘දිවයින’ ට පැවසීය.

මේ ගැටලුව පිළිබඳව මුදල් අමාත්‍යාංශයේදී සාකච්ඡා කිරීමට ලබන අඟහරුවාදා (06 දා) එම ලේකම් සමග අවස්ථාවක් ලබාදෙන බවට සෞඛ්‍ය ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී ලිඛිතව පොරොන්දු වූ බව හෙතෙම කීය.

ඒ අනුව ලබන අඟහරුවාදා තෙක් මෙම වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව හේ සඳහන් කළේය.

එදිනට මේ ගැටලුව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ හොත් යළිත් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා කීය.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ආරම්භ කළ වැඩ වර්ජනය දෙවැනි දිනයටත් ඊයේ (02දා) ක්‍රියාත්මක වූ අතර මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ඇතුලු දිවයිනේ රෝහල් රැසක ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීහු දහස් ගණනක් දැඩි අපහසුතාවට පත්වූහ. එම රෝහීහු වර්ජකයන්ට සාප කරමින් නැවත නිවෙස් බලා ගියහ.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් රැසකම ප්‍රතිකාර සේවා ද අඩාල විය.

වෛද්‍යවරුන්ට වැඩිකළ රුපියල් 35,000 ක වැඩ් දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති පසුගිය 16 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූ අතර ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවට පොරොන්දුවීමත් සමග එම වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට ඔවූහු කටයුතු කළහ.

එහෙත් සති දෙකකට අධික කාලයක් ගත වුවත් තම ඉල්ලීම් සඳහා නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් පෙරේදා (01 දා) පෙරවරුවේ සිට යළිත් ඒකාබද්ධ වර්ජනයක් ආරම්භ කළහ.

මේ අතර ළමා, මාතෘ, වකුගඩු, පිළිකා රෝහල්වල මෙන්ම ලේ බැංකුවේ මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහන් කළ ද අපේක්‍ෂා රෝහලේ සේවකයෝ දහවල් කෑම පැයේදී විරෝධතාවක නිරත වූහ.

කෙසේ වෙතත් සේවා පවත්වාගෙන යෑම සඳහා රෝහල්වලට යුද හමුදාව ඊයේ දිනයේ ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කැඳවා තිබිණි.

ඒ අනුව කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් 32 ක සේවාවන් පවත්වාගෙන යෑමට 800 කට ආසන්න භට පිරිසක් යෙදවීමට පියවර ගත් බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය.

“මුන්ට හෙන හතම ගහන්න ඕන. ඊයේත් ආවා අදත් ආවා. සල්ලි නැති නිසයි මේ බෙහෙත් ටික හරි ගන්න එන්නේ. මුන්ගේ ඉල්ලීම් දිනාගන්න ලෙඩ්ඩු බිල්ලට ගන්නවා. කොන්දක් තියෙන එක දේශපාලකයෙක් නැහැ. ඒකනේ මේ හැමදාම හෙනේ. බස් වියදම් කරගෙන බෙහෙත් ගන්න ආවම මුන් ස්ට්‍රයික්. උන්ගෙ පඩි වැඩිකර ගන්නවා. කොහෙන් බැලුවත් අහිංසක රෝගීන් තමයි පරාද’ යැයි ඊයේ කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීහු පැවසූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment