ඔන්ලයින් පනතට අත්සන් කිරීමෙන් කථානායක ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා

24

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

පාර්ලිමේන්තුව වාර අවසාන කර ඇති අවස්ථාවක ව්‍යවස්ථාපිත කරුණක් සඳහා අත්සන් කිරීමේ බලයක් කථානායකට නොමැති බවත් ඒ අනුව ඔහු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අත්සන් කර තිබෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (28 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවැසීය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණා. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ දී සම්මත වූ පසු පාර්ලිමේන්තුව වාර අවසාන කළා. පාර්ලිමේන්තුව වාර අවසාන කරලා තිබුණ වෙලාවක තමයි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට කථානායකවරයා අත්සන් කර තිබෙන්නේ. පාර්ලිමේන්තුව වාර අවසාන කරලා තිබෙන අවස්ථාවක ව්‍යවස්ථාපිත කරුණු කිසිවක් සිදුකරන්න බෑ. ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වෙනවා.

යථා පරිදි පර්ලිමේන්තුව ඉදිරියට ගෙන එන ලැබ, පාර්ලිමේන්තුවේ වාරය අවසාන කරන අවස්ථාව වනවිට කටයුතු නිම කරනු ලැබ නොමැතිනම් යම් කාරණයක් ඇත්තේද, ඒ සියලු කාරණා පිළිබඳ පාර්ලිමේන්තුවේ ඊළඟ සභාවාරයේදී ඉතිරි පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේය.

පාර්ලිමේන්තුව වාර අවසාන කරන අවස්ථාවේ පාර්ලිමේන්තුව ඉදිරියට යම් කාරණයක්

ගෙනැවිත් එය අසම්පුර්ණ වී තිබෙනවානම් එය සම්පුර්ණ කරන්න පුලුවන් වෙන්නේ පාර්ලිමේන්තුව රැස්වුණාම. නමුත් කථානායකවරයා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අත්සන් කළේ පාර්ලිමේන්තුව වාර අවසාන කරලා තිබෙන කාලයක. ඒ අනුව කථානායකවරයා පැහැදිලිවම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කර තිබෙන අවස්ථාවක ව්‍යවස්ථාපිත කාරණා කිසිදු දෙයක් සිදුකරන්න බෑ. කථානායකවරයාගේ අත්සන කියන්නේ ව්‍යවස්ථාපිත කාරණයක්. කථානායකවරයාගේ අත්සනින් පසුව තමයි ඕනෑම දෙයක් නීත්‍යානුකූල වෙන්නේ. පාර්ලිමේන්තුවේ නව වාරය ආරම්භ කළ දවසේ කථානායකවරයාට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අත්සන් කරන්න තිබුණා.

පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාම එම පනත ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එම පනත්වල සංශෝධන ඉදිරිපත් කරනවා. සංශෝධන නැතුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බෑ. නමුත් ව්‍යවස්ථා සංශෝධන 9 ක් අවම වශයෙන් ප්‍රධාන කරුණු 5 ක් ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශක කළ අවසාන පනතට ඇතුළත් කර නෑ. ශ්‍රේෂ්ඨාධිකරණය සංශෝධන නැතිව පනතක් ඉදිරිපත් කරන්න ව්‍යවස්ථාව අනුව නොහැකි දෙයක්. මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න වැඩකටයුතු සූදානම් කර තිබෙනවා.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment