ලංකාවේ තෙල් ඉල්ලීමට පිළිතුරු දුන්නේ රුසියානු සමාගම් 2 ක් පමණයි – ඇමැති කංචන විජේසේකර

363

රුසියාවෙන් තෙල් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව මගින් කර ඇති ඉල්ලීමකට එරට තෙල් සමාගම් දෙකක් පමණක් පිළිතුරු සපයා ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ඉහත සඳහන් ඉල්ලීම රුසියාව වෙතින් කරන ලද්දේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසිනි.

 ඛනිජ තෙල් සංස්ථාව රුසියාවේ තෙල් සමාගම් 6කට ලිපි යවමින් ඛනිජ තෙල් ලබා ගැනීම සඳහා ඉල්ලීම් කර ඇත. එම

 සමාගම්වලින් සමාගම් 2 ක් පමණක් ශ්‍රී ලංකාවට පිළිතුරු සපයමින් සඳහන්කර ඇත්තේ එම ලිපි ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් පිළිතුරු සපයන බවත් ය.

 රුසියාවෙන් තෙල් ලබා ගැනීම සිදුකරන්නේ ප්‍රසම්පාදන ක්‍රියාදාමයක් මත නොවේ. මෙවැනි අවස්ථාවකදී ශ්‍රී ලංකාව සහ තෙල් සැපයුම්කරු අතර දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් අත්සන් කරන බවත්, එය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පිණිස ඉදිරිපත් කරන බවත් දැනගැනීමට ඇත.

 රුසියාවෙන් පැමිණි තෙල් නැවක් දිගු කලක සිට ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවෙන් පිට රැඳී සිටින බවට මීට පෙර පුවත් පළවිය. එහෙත් එම නැව රුසියානු නැවක් නොවන බව ඛනිජ තෙල් ඇමැති කංචන විජේසේකර මහතා පවසා තිබේ. එය ඩුබායි හි පිහිටි සමාගමකට අයත් තෙල් තොගයක් බව ද වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment