විදුසර හරහා ගමේ දරුවන්ට විද්‍යා දැනුම දෙන්න ජේමිස් ලැනරෝල් දැක්ම එදා විශාල අනුබලයක් වුණා – අනුස්මරණ උළෙලේදී අනුර සිරිවර්ධන කියයි

315

ගම්බද දරුවන්ගේ විද්‍යා දැනුම පෝෂණය කිරීමට උපාලි පුවත්පත් සමාගම විසින් ප‍්‍රකාශනයට පත් කළ විදුසර පුවත්පතට අවශ්‍ය මඟපෙන්වීම මහත් කැපවීමකින් ලබාදෙමින් විද්‍යා දැනුමෙන් පිරිපුන් දරුවන් රටට දායාද කිරීමට උපාලි පුවත්පත් සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්‍ෂ අභාවප‍්‍රාප්ත ජෙම්ස් ලැනරෝල් මහතා විශාල සේවාවක් කළ බව විදුසර විද්‍යා සඟරාවේ ආරම්භක කර්තෘ සහ වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනුර සිරිවර්ධන මහතා පැවැසීය.

විදුසර හරහා ගමේ දරුවන්ට විද්‍යා දැනුම දෙන්න ජේමිස් ලැනරෝල් දැක්ම එදා විශාල අනුබලයක් වුණා - අනුස්මරණ උළෙලේදී අනුර සිරිවර්ධන කියයි

ඒ මහතා එසේ පැවසුවේ උපාලි පුවත්පත් සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්‍ෂවරයකුවූ දිවංගත ජෙම්ස් ලැනරෝල් මහතා වෙනුවෙන් උපාලි පුවත්පත් ආයතන ශ‍්‍රවණාගාරයේදී පැවැති අනුස්මරණ උළෙලේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර සිරිවර්ධන මහතා මෙසේද පැවැසීය.

ජෙම්ස් ලැනරෝල් මහතා පිරිපුන් මිනිසෙක්. උතුම් ගුරුවරයෙක්. මාර්ගෝපදේශකයෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිහතමානි පුද්ගලයෙක්. එතුමාගෙන් මගේ ජීවිතයට ලැබුණු පන්නරය මහත් ශක්තියක්. සරල බසින් විද්‍යා දැනුම දරුවන්ට ලබාදීමට කටයුතු කිරීමත් භාෂාව සහ සන්නිවේදනය නිවැරදි ආකාරයෙන් මෙහෙයවීමට කටයුතු සළසා දීමත් එතුමන් සිදුකළ මහ මෙහෙවරක්. නිහතමානකම මෙන්ම පරිපාලනය පිළිබඳවද එතුමා තුළ තිබුණේ හසල දැනුමක්.

එතුමාගේ හසල දැනුම මගේ ජීවිතයට මහා පිටුවහලක් ලබාදුන්නා. විදුසර පුවත්පත අදටත් පවත්වාගෙන යෑමට ලැනරෝල් මහතාගේ අඩිතාලම ඉවහල් වී තිබෙනවා.

මෙහිදී ‘දිවයින’ පුවත්පතේ උපදේශක කර්තෘ නාරද නිශ්ශංක මහතාද අදහස් දැක්වීය.

මෙම උපහාර උත්සවය සඳහා උපාලි පුවත්පත් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම, අධ්‍යක්‍ෂ ධම්මික ආටිගල, සන්නාම අධ්‍යක්‍ෂිකා කරිෂ්මා වෙල්ගම, මූල්‍ය අධ්‍යක්‍ෂකවරුන් වන ලහිරු ගුණසේකර, ලක්‍ෂ්මන් පෙරේරා යන මහත්ම මහත්මීහුද සන්ඬේ අයිලන්ඞ් පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ මනික්ද සිල්වා, දිනපතා අයිලන්ඞ් කර්තෘ ප‍්‍රභාත් සහබන්දු, ඉරිදා දිවයින කර්තෘ අනුර සොලමන් යන මහත්වරුද සහභාගි වූහ.

ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment