බිලියන මිලියන හැප්පෙන ආසියානු කුසලානය

572

ලෝක ජනගහනයෙන් හරි අඩකටත් වඩා ජීවත් වෙන්නේ ආසියානු මහද්වීපයේ ය. බිලියන 4.8 කි. ලෝක ජනගහනය බිලියන 8 ක් යැයි සඳහන් ය. එසේම ලොව තිබෙන මහද්වීප 7 අතරින් විශාලතම භූමි භාගයකට හිමිකම් කියන මහද්වීපයද ආසියානු මහද්වීපය වේ. එනිසා ඒ මහද්වීපයේ රටවල් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් යනු හරියට බැලුවහොත් “පුංචි ලෝක කුසලාන තරගාවලියක්” හා සමානය. ඊටත් වඩා එම කාරණය සනාථ වන්නේ මේ මහද්වීපයේ රටවල් තරම් ක්‍රිකට්වලට ඇලුම් කරන තවත් මහද්වීපයක් මිහිපිට නොමැති නිසාය.

යුරෝපා මහද්වීපයේ ප්‍රධානතම රටක් වන එංගලන්තයෙන් ක්‍රිකට් උපත ලැබුවද ඒ පිළිබඳ වශීකෘත ජනතාවක් වෙසෙන්නෝ ආසියානු මහාද්වීපයේය. ඒ අතරින් ද ලොව වැඩිම ජනගහනයක් වෙසෙන ඉන්දියාව ක්‍රිකට් අදහන ජනතාවක් සහිත රටක් වීම මේ ආසියානු මහද්වීපයේ ක්‍රිකට් උන්මාදය තීව්‍ර කරන්නකි. ඒ සමගම ඔවුන්ගේ දේශපාලන සහ භූගෝලීය ප්‍රතිවාදියා වන පකිස්තානය ද ක්‍රිකට් ලෝලීත්වය ට ඇලී සිටීම මේ ආසියානු කලාපයේ පමණක් නොව ලෝකයේ ලොකුම ක්‍රිකට් හටනට ද මග පාදා ඇත.

ඒ නිසා ඉන්දු පකිස්තාන ක්‍රිකට් සටනක් තරම් ලෝක කුසලාන අවසන් මහා තරගයක්වත් උණුසුම් නොවේ. ලොවේ එවන් ක්‍රිකට් වින්දනයක් නොවේය. ඊටම හරියන තවත් රටකි. ඒ ශ්‍රී ලංකාවය. 1996 ලෝක ක්‍රිකට් කිරුළ ජයග්‍රහණය කර ලෝක ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ මේ පුංචි දිවයිනේ මිනිස්සු ක්‍රිකට්වලට උපන් හපන්නුය. බිලියන 1.4 ක් ඉක්මවන ලොව වැඩිම ජනගහනයක් වෙසෙන තමන්ගේ ලොකු අයියා සමග වුව මූණට මූණ ගැටෙන්නට, ඔවුන් පරදවන්නට තරම් හයි හක්තියක් මේ මිලියන 22 ක කුඩා ජන සංඛ්‍යාවකින් බිහිවුණු 11 දෙනකුට හැකිය.

ඒ නිසා මේ රටවල් 3 සමග බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය ද එක් වූ කල ඇත්තේ පුදුම තරගයකි. ඒ සඳහා සුදුසුකම් ලැබූ අනෙක් ආසියාතික රට වූයේ නේපාලයයි. ඔවුන්ද දැන් ක්‍රිකට් පිටියට අත්පොත් තබා එහි වැඩ පෙන්වන්නට පටන්ගෙන ඇති සැටියකි.

මෙහි ඉහතින් සඳහන් කළ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය ද ලේසියෙන් නොපරදින කණ්ඩායම් වේ. ඒ නිසා ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්තානය බංගලාදේශය, ඇෆ්ගනිස්තානය එක් වූ කල ලෝක ක්‍රිකට් පිටියේ කෙරුමන්ගෙන් අඩකට වඩා එතැන සිටී. නැත්තේ ක්‍රිකට් ගෙන ආ එංගලන්තය, ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය හා දකුණු අප්‍රිකාව යි. මෑත කාලයේ දැඩි පසුබැසීමකට ලක්ව ඇතත් බටහිර ඉන්දීය කොදෙව් දේශයද මෙහිදී අමතක කළ නොහැක. එහෙත් ඉන්දීය උප මහද්වීපයේ දී එම රටවල් සමග වැඩි වැඩ පෙන්නන්නට ඔස්ටේ්‍රලියාවට මතු නොව එංගලන්තයට ද අසීරු කාර්යයකි.

මේ සියලු රටවල් ඉන්දියාවේදී ගැටෙන ලෝක කුසලාන තරගාවලියට ඇත්තේද තව සීමිත දින ගණනකි. ඒ පිළිබඳව පසෙකට තබා අපි නැවත ආසියානු කුසලානයට එමු.

බාධා මත ඇරැඹේ

මෙවර ආසියානු කුසලාන තරගාවලිය ඇරැඹුණේම නොයෙක් බාධා මධ්‍යයේ ය. තරගාවලිය පවත්වන්නටවත් හරි හමන් තැනක් නොවීය. එසේ වූයේ ඉන්දියාව සත්කාරක පකිස්තානයට තරග වැදීමට යෑමට ප්‍රතික්ෂේප කිරීම මතය. ඒ වෙනුවට විවිධ කොන්දේසි සහ බලපෑම් කරමින් ආසියාවේ පමණක් නොව ලෝක ක්‍රිකට් පිටියේද දැවැන්තයා වන ඉන්දියාව පකිස්තානයට පිටුපෑවේය. ඒ සමග ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ට සහභාගි වීම තමන් ප්‍රතික්ෂේප කරන බව පකිස්තානය පෙරළා කීය. අනතුරුව තරගාවලිය ඩුබායි වෙත යන බවද කියවිණි. කෙසේ හෝ ආසියානු කුසලාන තරගාවලියේ තරග 13 න් 9 ක් ශ්‍රී ලංකාවට ආවේය. පකිස්තානයට ඉතිරි හතර ඉතුරු විණි.

ඒ මදිවට කොරේ පිටට මරේ කියන්නාක් මෙන් “එහෙත් හරි වැස්ස. මෙහෙත් හරි වැස්සය”. නුවර මතු නොව කොළඹට ද හොඳටම වැසි වසී. පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දු පකිස්තාන තරගය වැස්සෙන් සේදී ගියේය. කොළඹත් ඊට නොදෙවෙනිය. ඒ නිසා තරගාවලියේ ඉතිරි තරග දඹුල්ල හෝ හම්බන්තොට ගෙන යා යුතු යැයි ඇතමෙක් කීහ. ආවාට ගියාට එහෙම තරග එහෙ මෙහෙ අරන් යා නොහැක. අවසානයේ වැස්ස අස්සේ තරග ප්‍රේමදාස පිටියේම පැවැත්විණි.

අද එහි අවසන් මහා තරගයයි. ප්‍රතිවාදීහු වන්නේ ක්‍රිකට් පිටියේ “අයියා සහ මල්ලී” ය. තම මුතුන් මිත්තන්ගේ ජානවල සිට පවා පැවත එන සිය පරම ප්‍රතිවාදීයා වන පකිස්තානයට එරෙහිව මෙවර සුපිරි ජයක් ලද ශ්‍රී ලංකාව ඉන්දියාවේ අද ප්‍රතිවාදියා වේ. ඉන්දීය ක්‍රිකට් අයියා අද ප්‍රේමදාස පිටියට අඩිය තියන්නේ ශ්‍රී ලංකා මල්ලී පරාජය කර කුසලානය රැගෙන යන්නටය.

එහෙත් මේ මල්ලි ද එසේ මෙසේ නොවේය. පාකිස්තාන පරාජය ඉන්දියාව හැමදාම පැතුවත් ශ්‍රී ලංකාව පසු ගිය බ්‍රහස්පතින්දා පකිස්තානය පරාජය කළ අයුරු ඉන්දියාව තැති ගැන්මකට ලක් කරන්නට තරම් සමත් වූයේය.

ඒ ලංකාවේ ක්‍රිකට්වල හැටිය. දිනන්නේ ක්‍රිකට්වල ලස්සන මොනවට පෙන්නුම් කරමිනි. කොටින්ම “හාර්ට් ඇටෑක්” ක්‍රිකට් නම් ඒ ලංකාව මිස වෙන කවුරුත් නොවේ.

ශ්‍රී ලංකාව පසුගිය ආසියානු කුසලාන තරගාවලිය ජයග්‍රහණය කළේද මේ “හාර්ට් ඇටෑක්” ක්‍රිකට් ලොවට පෙන්නුම් කරමිනි. එදා ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එම තරගාවලියට ගියේ සුපිරි හතරටවත් එන කණ්ඩායමක් නොවනු ඇතැයි මත පළ කරද්දීය.

2022 ශූරයන් වීම

එදා පළමු සටනේදීම ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයට පරාජය විණි. ශ්‍රී ලංකාව ලකුණු 105 කට දැවී ගියේය. ඇෆ්ගනිස්තානය කඩුලු 8කින් දිනීය. සුපිරි හතරට එන්නට නම් බංග්ලාදේශය පරාජය කළ යුතුවම තිබුණි. බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දී ලකුණු 184 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව හමුවේ තැබීය. ඇෆ්ගනිස්තානයට ලකුණු 105 කට දැවුණු ශ්‍රී ලංකාව ලකුණු 184 ක් හඹා ගොස් ජයගනු ඇතැයි සිතුවෝ කවරහුද? එහෙත් පන්දු 4 ක් සහ කඩුලු දෙකක් අතැතිව ශ්‍රී ලංකාව ජය ගත්තේය. සුපිරි හතරට ද ආවේ ය. එවර පැවැත්වූයේ පන්දුවාර විස්සයි විස්ස තරගාවලියකි.

සුපිරි හතරේ පළමු සටන ඇෆ්ගනිස්තානය සමගය. ඔවුහු පළමුව පන්දුවට පහර දී ලකුණු 173 ක් ලැබූහ. ගුර්බාස් පන්දු 45 කදී ලකුණු 84 කි. ඉලක්කය පොඩි නැත. එහෙත් ශ්‍රී ලංකාව අවසන් පන්දුවාරයේදී කඩුලු 4 කින් තරගය ජය ගත්තේය. අනතුරුව ලොකු තරගයකි. ඒ ලොකු අයියා සමගය. ඔවුන්ගේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ගෞතම් ගාම්භීර් එකල “ගරු ගාම්භීර” ප්‍රකාශයක් ද කර තිබුණි. එනම් ශ්‍රී ලංකාව පස් වතාවක් ආසියානු කුසලානය ජය ගත්තාදැයි තමන්ට මතක නැති බවය. කොහොම දිනුවාදැයි හිතාගන්නට බැරි බවය. ඒවා දිනුවේද මෙහෙම යැයි ගාම්භීර් ට මතු නොව කෝලි ශර්මා ප්‍රමුඛ සමස්ත ඉන්දියාවටම ඉතිහාසය මතක් කර දුන්නේ එදාය. එමතු නොව වර්තමානයේ ද අපි එවැන්නෝම වෙමු යැයි ශ්‍රී ලංකාව ජය ගත්තේය. ඉන්දියාව පළමුව පන්දුවට පහර දී ලබා ගත් ලකුණු 173 එක් පන්දුවක් ඉතුරුව තිබියදී ශ්‍රී ලංකාව පසු කර ගියේය. එනම් 19 වෙනි පන්දු වාරයේ 5 වෙනි පන්දුවේදීය. දිනන්නේ කවුරුන්දැයි අවසන් පන්දුව තෙක් අවිනිශ්චිතය. ප්‍රේක්ෂකයෝ ඇඟිලි තුඩුවලින් සිට ගනිති. එසේ තිබියදී පන්දු 18 කදී ලකුණු 33 ක් ලබා නායක දසුන් ජයග්‍රහණය ගෙන ආවේය. ඩිල්ශාන් මධුසංඛ ගේ “සුප්‍රසිද්ධ” යෝකර් පන්දුව කෝලි ගේ කඩුලු ඉනි ගලවා දැමුවේ එදාය. ඉන්දියාව තරගාවලියෙන් ඉවතට විසි වීමට ප්‍රධාන හේතුව එම පරාජයයි.

පකිස්තානය සුපිරි වටයේ අවසන් ප්‍රතිවාදියා විය. එහෙත් ඒ වනවිට රටවල් දෙකම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබුණි. ඒ අනුව එදා පැවතියේ අවසාන තරගයට පෙරහුරුවක් බඳු තරගයකි. පළමුව පන්දුවට පහරදුන් පකිස්තානය ලකුණු 121 කට පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. 17 වෙනි වාරය නිමා වෙද්දී ශ්‍රී ලංකාව ජය ගෙන අවසන් ය.

පෙරහුරුවෙන් ලද පන්නරය සමග අවසන් මහා තරගයට ගිය ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදී ලකුණු 173 ක් ලබා ගත්තේය. පකිස්තානයට ඉලක්කය අපහසු බව නොපෙනේ. එහෙත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එදා ජාත්‍යන්තර වරම් දිනූ ප්‍රමෝද් මධුශාන් නම් නවක පන්දු යවන්නා පකිස්තානයේ කඩුලු 4 ක් ලකුණු 34 කට බිඳ දැම්මේය. පකිස්ථාන ඉනිම ලකුණු 147 කින් නතර විය. ශ්‍රී ලංකාව 6 වෙනි වරටත් ආසියානු කුසලාන ශූරයෝ වූහ. ගාම්භීර් තම ප්‍රකාශයට සමාව ගත්තේය.

පීඩනය ආභරණයක්

එම තරගාවලියම ශ්‍රී ලංකාව ජය ගත්තේ දැඩි පීඩනය මධ්‍යයේ ය. මෙවර තරගාවලිය ඇරඹීමට පෙර ද ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කර සිටියේ තම කණ්ඩායම පීඩනය මැද හොඳින් ක්‍රීඩා කරන බවයි. මෙවර එම පීඩනය වැඩි වූයේ ශ්‍රී ලංකාවට ශූරයන් ලෙස තරගාවලියට එක්වන නිසාය.

දසුන් කී ඒ බසේ නම් කිසිම දොසක් නොවේ. පීඩනය යනු ශ්‍රී ලංකාව වෙළා ගත් ආශිර්වාදයක් යැයි මෙවරද ශ්‍රී ලංකාව මේ අහස යට මේ වනවිට ඔප්පු කර අවසන් ය. පළමු තරගයේදී බංගලාදේශයට එරෙහිව පහසු ජයක් ලැබුවද දෙවැනි තරගය ඇෆ්ගනිස්තානයට එරෙහිව ජය ගත්තේ කෙස් ගසිනි. එය කෙතරම් තියුණු ජයග්‍රහණයක් වූවේද යත් ඇෆ්ගනිස්තානයට තරගය ජය ගැනීමට තිබූ අවස්ථාව මග හැර ගියේ යැයි හැඟුණි. ඩක්වර්ත් ලුවිස් න්‍යාය පිළිබඳව සහ අවසන් ලකුණු තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොතිබූ රශිඩ් ඛාන් පිටියේ අනෙක් අන්තයේ දණ ඇනගෙන බිම වාඩි වෙද්දී ශ්‍රී ලංකා ව තරගය ජය ගත්තා පමණක් නොව සුපිරි හතරටද සුදුසුකම් ලැබීය. සුපිරි හතරේ පළමු සටන ද බංග්ලාදේශයට එරෙහිවය. ලකුණු 21 කින් ශ්‍රී ලංකාව එය ජය ගෙන පාකිස්තානයේ සිට මෙරටට පැමිණියේය.

වෙල්ලාලගේට ඉන්දියාව ඇඹරේ

ඉන්දියාව සමග සටනට ශ්‍රී ලංකාව යනවිට ඉන්දියාව සිටියේ ගව් ගණනක් උඩිනි. පකිස්ථානයට එරෙහිව ක්‍රිකට් ඉතිහාසයේ ලද ඉහළම ජයග්‍රහණය ප්‍රේමදාස පිටියේ දී ලැබ ගත් ඉන්දීය පිතිකරුවෝ ලකුණු 365 ක් ලබා සිටියහ. දැවී ගියේ ද කඩුලු දෙකකි. පන්දු යවන්නෝ ඉතුරු හරිය කරමින් පකිස්තානය ලකුණු 128 කට දවා ගත්හ.

ඒ නිසා ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිවද ලකුණු 400 කිට්ටු කරනු ඇතැයි යමෙක් කීහ. එහෙත් සිදු වූයේ කුමක්ද? වයස අවුරුදු 20ක ශ්‍රී ලංකා යෞවනයෙකුට එදා මුළු ඉන්දියාවම පරාද වීමයි. දුනිත් වෙල්ලාලගේ නම් ඔහු එදා ඉන්දීය කඩුලු 5ක් ලකුණු 40 කට බිඳ දමා ඉන්දියාව හොල්මන් කළේය. කෝලි, ශර්මා, ශුබ්මන් ගිල්, රාහුල් සහ පාන්ඩයා වෙල්ලාලගේ ට ගොදුරු විය. එහෙත් ශ්‍රී ලංකා පිතිකරුවෝ එදා දුර්වල වූහ. පරාජය අපටය.

පාකිස්තානය ශ්‍රී ලංකාව සමග සටනට ආවේ ඉන් පසුවය. ප්‍රේමදාස පිටියේ හිස්ව තිබුණේ අසුන් කීපයක් පමණි. මහත් ඝෝෂාවකින් මුළු ක්‍රීඩාංගණයම ඇළලී ගොසිනි. ක්‍රිකට් උන්මාදය යනු කුමක්දැයි එදා ප්‍රේමදාස පිටියට බට ප්‍රේක්ෂකයෝ සාක්ෂි දැරූහ. එය හරියට ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක් බඳුය. මෙවර තරගාවලියේ අවසාන මහා තරගයට පිවිසීමට නම් පකිස්තානයට සහ ශ්‍රී ලංකාවට එම තරගය ජය ගත යුතුව තිබුණි. පළමුව පන්දුවට පහරදුන් පකිස්තානය ලකුණු 252 ක් ලැබීය. පන්දු වාර 42 කදී ශ්‍රී ලංකාව එම ඉලක්කය පසු කර යා යුතුය. නැත්නම් අවසන් මහා තරගයට යෑමට නොහැක. අවසන් පන්දු වාරය වනවිට ශ්‍රී ලංකාවේ කඩුළු 7 ක් ලකුණු 244 කට බිඳ වැටී තිබුණි. ජයග්‍රහණය සඳහා පන්දු 6 කදී ලකුණු 8 ක් අවශ්‍ය ය. අවසන් පන්දු දෙකේදී ලකුණු 6 කි. ඒ පන්දු දෙකට මුහුණ දුන් චරිත් අසලංක 5 වැනි පන්දුවේදී අලංකාර හතරේ පහරක් එල්ල කර තරගය තවත් තියුණු කළේය. අවසන් පන්දුවේදී ශ්‍රී ලංකාව ජය ගත්තේය. ප්‍රේමදාස පිටිය පුරා එතරම් ජයඝෝෂා නාදයක් පැතිර ගිය කාලයක් මතකයට නොඑන්නේය. එය එතරම් විචිත්‍ර වූ ජයග්‍රහණයක් විය.

අද ඒ විචිත්‍ර බව තවත් විචිත්‍ර කරන්නට ශ්‍රී ලංකාවට හැකිනම් එය ශ්‍රී ලංකාවේ 7 වෙනි ආසියානු කුසලාන ජයග්‍රහණය වනු ඇත. ඒ ජයග්‍රහණය ලෝක කුසලානය අභිමුව පුංචි ලෝක කුසලානයක් දිනුවා මෙන් වනු ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment