තේරීමේ බර තම කර මත දරන් උපුල් තරංග යන ගමන

545

අලුතින් පත් ක්‍රිකට් තේරීම් කමිටුව පසුගිය බදාදා පළමු වරට මාධ්‍ය හමුවේ පෙනී සිටියේය. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදීය. උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් එම තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයෝ වන අජන්ත මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, ඉන්දික ද සේරම් සහ තරංග පරණවිතානද ඊට එක් වූහ. එවැනි මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවක් පවත්වන ලද්දේ වසර ගණනාවකට පසුවය. මීට පෙර සිටි ක්‍රිකට් තේරීම් කමිටුව ප්‍රදර්ශනය නොකළ විනිවිදභාවයක් මෙදා තරංගලා එහිදී ප්‍රදර්ශනය කළහ.

මෑත කාලයේ ඇති වූ ඒ හිඩැස පුරවමින් තරංගගේ කමිටුව මාධ්‍ය හමුවක් කැඳවීම පැසසිය යුතු කරුණකි. එසේ විවෘතව සිය අදහස් පළ කිරීම පිළිබඳව ද ඔවුන්ට කෘතඥතාව හිමිවිය යුතුය.

වැඩිය කතා බහක් නැති වුවත්, එම භාරධුර තනතුරට ආධුනික වුවත්, උපුල් එහිදී ප්‍රදර්ශනය කළේ පරිණත බවකි.

මේ තේරීම් කමිටුව පත් කළ දා සිට නොව, ඊටත් එහාට ගොස් එනම් තරංගගේ සභාපතිත්වයෙන් තේරීම් කමිටුවක් එන බවට ක්‍රීඩා ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ දා පටන් ඔවුන්ට එල්ල වූයේ ගල් මුල් ප්‍රහාරය. ඒ බව අමුතුවෙන් මතක් කළ යුතු නැත. එසේම එම චෝදනාවලටද ඕනෑ තරම් සාධාරණ හේතු විය.

උපුල් ඇතුළු එකී කමිටුවේ ඇතමෙක් ඒ වන විටත් ක්‍රීඩා සමාජ මට්ටමින් ක්‍රීඩා කරමින් සිටියහ. තවත් අයෙක් විනිසුරු කාර්යද දැරූහ. තවත් අයෙක් පුහුණුකාර ධුරයටද ප්‍රවේශව සිටියහ. මෙකී කාරණා ජාතික කණ්ඩායමකට ක්‍රීඩකයන් තේරීම් සිදු කරන කමිටුවකට අකැපය. ඒ නිසා විනිසුරුකම් කරමින්, පුහුණුකාරකම් කරමින්, ක්‍රීඩා කරමින් තේරීම් කරන්නේ කෙසේදැයි මහත් විචාරයක් දනන් තුළ ඇති විය. එහෙත් ඒ සියල්ල පුස්සක් බවට පත් කරමින් තරංග ඇතුළු පිරිවර ඒ සියලු තනතුරු අත්හැරියහ. පුහුණු කටයුතු, විනිසුරු කටයුතු මතු නොව ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමද ඔවුහු අත්හැරියහ. එසේ බැඳී නැති නිදහස් කමිටුවක් බවට පත්වූ ඔවුන් දැන් වැඩට බැහැලා ඇත.

පළමු කාර්යය වූයේ සිම්බාබ්වේ සමග එක්දින තරගාවලියට සුදුසු 11 ක් තෝරා ගැනීමය. එම තරගාවලියේ පළමු තරගය ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණි. තරංගගේ කමිටුව නම් කළ ක්‍රීඩකයෝ ඒ සඳහා සුදුසුකම් ලැබ සිටියහ. එසේම සිම්බාබ්වේ සමග පන්දු වාර විස්සයි විස්ස තරගාවලියක්ද වේ. ඊට ද සුදුස්සෝ තෝරා බේරාගත යුතුය.

කෝටි දෙකකට අධික ජනතාවක් සිටින රටක, පෑන පැන්සල අල්ලන්න කලින් පිත්තත් පන්දුවත් අල්ලන රටක හොඳම 11 ක් තෝරා ගැනීම සෙල්ලමක් නොවේ. දැන් තරංගගේ උර මත මහමෙර තරම් බරකි. පීඩනය වැඩිය. එහෙත් හේ ක්‍රිකට් පිටියේදී මැනවින් පීඩනය පාලනය කළ අයෙකි. බවුන්සර්, යෝකර් මතු නොව ගුග්ලි ද, තෝරා බේරා කල් යල් බලා පහර එල්ල කළ අයෙකි. නිදැල්ලේ හැරිය යුත්තේ කුමක්දැයි ඔහු තරම් ප්‍රගුණ කළ අයෙක් නොසිටි තරම්ය.

තේරීම් කමිටුවට එන ප්‍රශ්නද එසේමය.

මාධ්‍ය හමුව පැවැත්වූයේ එක් දින තරගාවලියේ ආරම්භයට දින තුනක් මෙපිටින්ය. එම මාධ්‍ය හමුවේදී තරංග පැහැදිලිව කී දෙයක් ඇත. එනම් කණ්ඩායමට ක්‍රීඩකයන් තේරීමේදී තරුණ ප්‍රතිපත්තියම කරේ තියා ගෙන කටයුතු නොකරන බවයි. එනම් දක්ෂතා අතර සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ටද කණ්ඩායමේ දොරටුව ඕනෑම වෙලාවක විවෘතව ඇති බව ඔහු කීය.

“කණ්ඩායමට තරුණ ක්‍රීඩකයන්ම ගන්න ඕනා කියලා අපි හිතන්නේ නැහැ. ජාත්‍යන්තර වශයෙන් අත්දැකීම් රැසක් තිබෙන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ අපේ රටේ ඉන්නවා. ඒ අය හොඳින් දක්ෂතා අතර සිටිනවා නම් අපි ඔවුන් කණ්ඩායමට එකතු කර ගැනීමට පසුබට වෙන්නේ නැහැ. ඒ අතරින් සමහර අයට ලෝක කුසලාන තරගාවලි සඳහා වුණත් ක්‍රීඩා කිරීමේ හැකියාව තියෙනවා. තරුණ ක්‍රීඩකයන්ට ඒ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් ලැබෙන අත්දැකීම් ඉතා වැදගත්.”

තරංග එම මාධ්‍ය හමුවේදී එසේ ප්‍රකාශ කර සිටියේ පැවැති තේරීම් කමිටුව ගිය මගම තමන් නොයන බවට ඉඟි කරමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෑත කාලයේ දරුණු පරාජයන් අත්විඳීය. ඒ කෙතරම් ද යත් ශූරයන්ගේ කුසලාන තරගාවලියටද පළමු වරට නුසුදුස්සෝ වී ඇත. ඔවුන් එක්දින සහ පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි දෙක සඳහා ප්‍රවේශ වූයේද සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිවලටද තරග කිරීමෙන් අනතුරුවය. ඊට මූලික වූ කරුණු අතර ක්‍රීඩකයන්ගේ අත්දැකීම් නොමැතිකම ඉහළින් කියවිණි. තනිකරම තරුණ කණ්ඩායමක් සහ තනිකරම ජ්‍යෙෂ්ඨ කණ්ඩායමක් සිහියේ තබාගෙන කටයුතු කිරීමද කෙතරම් සාර්ථක ද අසාර්ථක ද යන්න වෙනම විමසිය යුතු කරුණකි. එහෙත් එකී තරුණ කණ්ඩායම 2022 වසරේ ආසියානු කුසලාන ජයග්‍රහණ කිරීමද අමතක කළ නොහැක. අවසාන කාලයේ තරග පරදින විට තරුණ ප්‍රතිපත්තිය පැත්තකට දමා ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුට ද කණ්ඩායමේ දොර විවර කළද එයද සාර්ථක වූයේ නැත. එක් අන්තයක එල්ඹ සිටීම කොතරම් සාර්ථක ද යන්න ඉතිහාසය සාක්ෂි දරා ඇත.

එම තේරීම් කමිටු මාධ්‍ය හමුවේදී අනාවරණය වූ තවත් දෙයක් වේ. එනම් ගෙනෙන්නන් වාලේ ක්‍රීඩකයන් ආදේශ නොකර ඒ ඒ ස්ථානවලට ගැළපෙන ක්‍රීඩකයන් පිරිසක් ආදේශක ලැයිස්තුවට සූදානම් කර තැබීමේ ක්‍රියාවලියයි. ඉන්දියාව දැනටත් එම ප්‍රතිපත්තිය අනුගමනය කරමින් සිටී. තවද අංක තුන, හතර ස්ථානවල දස්කම් දක්වන පිතිකරුවන් අංක හය හතට ගෙන යන්නේ නැති බවත්, එකී තම සුපුරුදු ස්ථානවල දක්ෂකම් දක්වන ක්‍රීඩකයන්ම ඒ ඒ ස්ථාන සඳහා ආදේශනයන් ලෙස යොදවන බවත් අනාවරණය විය.

“අපේ තේරීම් කමිටුවේ බලාපොරොත්තුව ක්‍රීඩකයන් තමන් ක්‍රීඩා කරන ස්ථානය වෙනස් නොකර ක්‍රීඩා කිරීමට යෙදවීමයි. දේශීය තරග ක්‍රීඩා කිරීමේදීත් අපි ඔවුන්ට එම ස්ථානවලම ක්‍රීඩා කරන්න කියලා දැනුම් දී තිබෙනවා. ධනංජය ද සිල්වා ට සහ දිනේෂ් චන්දිමාල් ට එක් දින කණ්ඩායමට පැමිණීමට තිබෙන බාධකයත් එයයි. ඔවුන් හොඳින්ම ක්‍රීඩා කරලා තිබෙන්නේ අංක 3 සහ 4 ස්ථානවලයි. එම ස්ථානවල මේ වන විට සදීර සමරවික්‍රම සහ චරිත් අසලංක හොඳින් ක්‍රීඩා කරනවා.”

ඒ උපුල් තරංගගේ මාධ්‍ය හමුවෙන් උපුටා ගත් ප්‍රකාශයකි. ඒ ප්‍රතිපත්තියේද වරදක් නැත. එක් අන්තයකට නොගොස් මැද මාවතේ ගමන කොහොමත් ඇඟට ගුණය.

එහෙත් මේ දේවල් ක්‍රියාවට නැංවීමේදී නොයෙක් බාධා එල්ල වීමට ඉඩ ඇත. ඒ බාධා සහ අභියෝගවලට මුහුණ දෙමින් හොඳ ගමනක් ගියහොත් වැටී තිබෙන මේ ක්‍රිකට් ආගාධයෙන් ගොඩ ඒමටද බැරි කමක් නැත. එදා පිත්තෙන් කණ්ඩායම බේරා ගත්තා මෙන් මෙදා තේරීමෙන් කණ්ඩායම ගොඩ දාන්නට තරංගට හැකි වුවහොත් එය විශාල ජයග්‍රහණයකි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment