ජනතාව දුක් විඳිද්දී පාලකයන් සැප විඳිනවා – කඳුළු ගෑස් සහ බාධක එපා

33

ආදරවන්තයන්ගේ දිනය දා ජනපති හමුවෙන්න අපි එනවා – වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි

එදාට අපිත් එක්ක එකතු වෙන්න සියලු දෙනාට ආරාධනා කරනවා

රට චිකාගෝවක් බවට පත්කරමින් අධික බදු පනවා ජනතාව දුක් විඳින තත්ත්වයට පත්කර පාලකයන් සැප විඳින තත්ත්වයක් රට තුළ උද්ගතව ඇති බවත්, එම ක්‍රමය වෙනස් කිරීමට ගරුතර මහා සංඝරත්නය හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ආදරවන්තයන්ගේ දිනය දා (14 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඍජුවම හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන බවත්, එදාට පැමිණෙන්නේ ආදර බස් දෙඩවීමට නොවන බවත්, ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.

ආදරවන්තයන්ගේ දින ජනපති කාර්යාලයට පැමිණෙනුයේ රටේ මහජනතාවගේ ගැටලු සාකච්ඡා කිරීමට බවත්, එදාට පසුගිය දිනවල මෙන් කඳුළු ගෑස්, ජලප්‍රහාර අධිකරණ නියෝග හා පොලිස් බාධක සූදානම් නොකර සාකච්ඡාවට සූදානම් වන ලෙසත්, උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

රජය මගින් සිදුකරන නාස්තිකාර වියදම් වහාම නවතා දමා ජීවන බරින් මිරීකී සිටින රටේ ජනතාවට වහාම සහන ලබා දෙන්නැයි රටේ ප්‍රධානියාට ඍජුව පවසන්නට යන මෙම අවස්ථාවට සහභාගි වන්නැයි මහා සංඝරත්නයට, සර්ව ආගමික නායකයන්ට, වෘත්තීය සමිති නායකයන්ට හා සිවිල් ක්‍රියාකාරීන්ට පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් වහන්සේ ආරාධනා කරන බව ද පැවසූහ. මිහින්තලය රජමහා විහාරස්ථානයේ විහාරාධිපතිව සිට අපවත්වූ වලවාහැංගුණවැවේ ශ්‍රී රතනජෝති නාහිමියන් වහන්සේගේ වසර 33 ක් සපිරීම නිමිත්තෙන් මිහින්තලේ විහාරස්ථානයේ දී පෙරේදා (31) පැවති දානමය පින්කමකට වැඩමවීමෙන් පසු මේ පිළිබඳව උන්වහන්සේ පැවසූහ.

තිරප්පනේ – සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment