පනත බරපතළ තර්ජනයක් – මාර්තු 12 ව්‍යාපාරය

113

මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත 2024 ජනවාරි 24 වැනි දින සම්මත කිරීම ‘මාර්තු 12 ව්‍යාපාරය’ තරයේ හෙළා දකින බව නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ. එහි මෙසේද සඳහන් වේ.

මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට දැඩි තර්ජනයක් බව අපි අවධාරණය කරමු.

වත්මන් රජය මෙම නීතිය සම්මත කිරීමේදී අනුගමනය කළේ කිසිවකුටත් ඇහුම්කන් නොදෙන දැඩි ස්ථාවරයකි. තීරණාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙමින් පවතින මේ මොහොතේ මෙන්ම එළඹෙන මැතිවරණ සමයේදී ද විරුද්ධ මත නිහඬ කිරීමටත් සහ සිවිල් ක්‍රියාකාරීත්වය යටපත් කිරීමටත් මෙවැනි නීති යොදා ගැනීම රජයේ අභිලාෂය වන බව පැහැදිලිය.

අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල බව විමසමින් මෙරටේ පුරවැසියන් සහ ආයතන කිහිපයක් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතූහ. ඊට කන්දුන් ගරු අධිකරණය, පනතේ සභා සම්මතයට පෙර සංශෝධනය කළ යුතු වගන්ති දක්වමින් තම විනිශ්චය ලබාදෙනු ලැබීය. නමුත් මේ වන විට දසතින් නැඟෙන චෝදනා සැකෙවින් විමසීමේදී පැහැදිලි වන්නේ ආණ්ඩු පක්‍ෂය ඉතා උපක්‍රමශීලී ලෙසින් අධිකරණ නිර්දේශයේ සඳහන් සමහර තීරණාත්මක සංශෝධන නොසලකා පනත් කෙටුම්පත සම්මත කර ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment