අයවැය විවාදය මැද්දේ මුදල් ඇමැති ඉන්දියාවට ගියේ ඇයි – රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රශ්න කරයි

128

ඉන්දියාවට නොවෙයි තූත්තුකුඩියට හරි යන්න වෙලා තියෙනවා රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ

රට සතුව පවතින විදේශ සංචිතය මෙන්ම මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳව මුදල් ඇමැතිවරයා විසින් සවිස්තර ප‍්‍රකාශයක් ඉදිරි දිනකදී සිදු කරන බව රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07 දා) කීය.

එජාප මන්තී‍්‍ර රනිල් වික‍්‍රමසිංහ මහතා විදේශ සංචිතය, විපක්ෂ මන්තී‍්‍රවරුන් නොපැමිණිම පිළිබඳ මතු කරන ලද කරුණු කිහිපයකට පිළිතුරු දෙමින් ෂෙහාන් සේමසිංහ මහතා මේ බව කීය.

එහිදී මතු වූ කතාබහ මෙසේය.

රනිල් වික‍්‍රමසිංහ මහතා – ආණ්ඩුව අපට පොරොන්දු වුණා අපට තිබෙන විදේශ සංචිතය කොපමණද කියලා කියනවා කියලා. නමුත් අද වනතෙක් කියලා නෑ. නමුත් අපට නොකිව්වාට ඉන්දියාවට ගිහින් කියල තිබෙනවා. ඇයි අපට කියන්න බැරි. දැන් හිටපු මහ බැංකු අධිපති ඔන්ලයින් සාකච්ඡාවකදී කියල තිබෙනවා තව බිලියන 1.5 යි විදේශ සංචිතය තිබෙන්නේ කියලා.

රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා – මම ලබාදෙන දිනයක් ගැන කිව්වේ නෑ. අපි සවිස්තර විස්තරයක් වගේම අයවැය අවසන් අවස්ථාවේදී ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් වගේම ඒ සංශෝධන කරනවා. අපි පැහැදිලි උත්තරයක් ලබාදෙන්නම් අපි ඒ පිළිතුරු මේ වනවිට සකස් කරගෙන යනවා.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා – මේ කරුණු මුදල් ඇමැතිතුමා දකිනවා. ඔබතුමා කියන දේ මා පිළිගන්නවා. මුදල් ඇමැතිවරු හිටපු නැති කලක් තිබුණා. අපි ඒව දැකල තිබෙනවා.

රනිල් වික‍්‍රමසිංහ මහතා – මුදල් ඇමැතිවරු අයවැය විවාදය මැද්දෙ ඉන්දියාවට ගියේ නෑ කිසි දවසක. මොකටද ගියේ, වඳින්නද ගියේ. ඇයි ඉන්දියාවට ගියේ මුදල් ඇමැතිතුමා.

ෂෙහාන් සේමසිංහ මහතා – ඔබතුමාලගෙ කාලයේ වරාය බදු දීල ඒ මුදල් සෘජු විදේශ ආයෝජනයක් ලෙස පෙන්නුවා. මුදල් ඇමැතිතුමා වගකීම නිසි ආකාරව කරනවා. මේ සභාවටත් එනවා, ප‍්‍රශ්නය තිබෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා සභාවට එන්නේ නෑ.

රනිල් වික‍්‍රමසිංහ මහතා – ඇයි ඉන්දියාවට ගියේ. මහ බැංකු අධිපතිතුමාගේ රෝඞ්මැප් එකක් තිබෙනවා නම් ඇයි ඉන්දියාවට ගියේ. බුද්ධගයාව වඳින්න ගියාද? ඒ ආණ්ඩුවට වඳින්න ගියාද?

ෂෙහාන් සේමසිංහ මහතා – අපි වෙන රටවල ආණ්ඩුවලට දණ ගහලා නෑ. අපි වෙනත් ටවල් සමග සම්බන්ධතා පවත්වනවා. යහපාලන කාලයේ නම් පිටරටවල්වලට ගිහින් කිව්වේ අපේ සම්පත් මිලදී ගන්න කියලා. දැන් රනිල් වික‍්‍රමසිංහ මහතා තමයි විපක්ෂය වෙලා තිබෙන්නේ. සැබෑ විපක්ෂය කියන අය අද පැනල ගිහින්.

රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා – මුදල් ඇමැතිතුමා පාර්ලිමේන්තුවට ආවා. ඒ වගේම රනිල් වික‍්‍රමසිංහ මහතා මුදල් සංචිතය ගැන ඇහුවා. නමුත් මෙපමණ කලකට වත්මන් විපක්ෂනායක මේ වගේ වැදගත් ප‍්‍රශ්නයක් ඇහුවේ නෑ. ඒ නිසා අපේ ස්තුතිය පුද කරනවා මෙතුමාට. ඉන්දියාවට නොවෙයි තූත්තුකුඩියට හරි අපට යන්න වෙලා තිබෙනවා. මොකද සියයට 7.5 ට තිබුණු ආර්ථිකය 2.5 ට ඔබතුමාලා අඩු කළා. මේක ගොඩගන්න පුළුවන් රාජපක්ෂලාට විතරයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා – රෝඞ්මැප් එකේ යනවා නම් යන්නේ නිවාඞ් කබ්රාල්ගේ මාවතේ, රාජපක්ෂලාගේ මාවතේ නෙමෙයි. යුද්ධයෙන් පසුව විශාල වශයෙන් ඉදිකිරීම් කළා. අපේ විදේශ සංචිතය මේ අය අඩු කළා. ඒ වගේම මේ විපක්ෂයේ ප‍්‍රශ්නය විසඳන්න කමිටුවක් පත් කරන්න. මොකද මුදල් අමාත්‍යාංශය දවසේ අපි හැමෝම ඉන්න ඕන.

ෂෙහාන් සේමසිංහ මහතා – අපි යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති මාලාවේ. අපිට නායකයෝ ගොඩක් නෑ. අගමැතිතුමාගේ චින්තනයේ අපි ඉන්නවා. විදේශ විනිමය ශක්තිමත් කරන්න අපි පියවර ගනිමින් ඉන්නවා.

රනිල් වික‍්‍රමසිංහ මහතා – අපට දැන් තමයි විශාලම ආර්ථික ප‍්‍රශ්නය තිබෙන්නේ. මේ පාර්ලිමේන්තුව දැන් ජනතාව විශ්වාස කරන්නෙත් නෑ. අපේ තරුණ පරපුරට අනාගතයක් තිබිය යුතුයි. අපි මෙතැනින් වැටුණොත් ලේසියෙන් ගොඩ එන්න බැරි වෙයි.

ඇමැති බන්දුල ගුණවර්ධන මහතා – ඒ රජයේ මුදල් ඇමැතිවරු රනිල් වික‍්‍රමසිංහ මහතාව නොමග යවලා තිබෙනවා. අපි ආර්ථිකය හොඳ මට්ටමකට ගෙනාවා. තෙල් මිල අඩු වනවිට ඒ මුදල් ඉතිරි කරල තෙල් මිල වැඩි වනවිට ඒ මුදල් ඇමැතිතුමා ඩොලර් වෙළෙඳපොළට දාල ඩොලර් පිච්චුවා. ඒ අර්බුදය නිසා තමයි වරාය විකිණුවේ. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ගහන්න ගියෙත් ඒකයි. මේ වැරදුණු තැන් ගැන අපි කතා කරල අනාගත වැඩපිළිවෙළක් හදමු.

ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා – සජබයේ මන්තී‍්‍රවරු දැන් බය වෙලා, රනිල් වික‍්‍රමසිංහ මහතා ඉක්මනට ආපු එක නිසා රට ඉඳලා. විපක්ෂ නායකකමත් නැති වෙයි කියල දැන් බය වෙලා.

ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා මුදල් ඇමැතිතුමා ඉන්දියාවට ගිය එකේ ප‍්‍රතිලාභ ගැන එතුමා ඉදිරි දිනකදී කියයි. හිටපු අගමැතිතුමා කිව්වෙ ළඟම පාසල හොඳම පාසල කියලා. ඒ වගේ අපි ළඟම රටට යනවා.

පූජ්‍ය අතුරලියේ රතන හිමි – කාර්මික විප්ලවයකින් පසුව තමයි මුදලේ වටිනාකම ඇති වුණේ. නව ආර්ථික ප‍්‍රවණතා සම්බන්ධයෙන් අපි ආර්ථික නව නියැදි ගැන කිසිම කතාවක් කරන්නේ නෑ. රනිල් වික‍්‍රමසිංහ මහතා සමාජ වෙළෙඳපොළ ක‍්‍රමයක් ගැන කිව්වා. දැන් ලෝක අර්බුදයත් එක්ක අපි නව කියවීමක් කළ යුතුයි. ඇත්ත ප‍්‍රශ්නය අද කවුරුවත් කතා කරන්නේ නෑ. අද ලෝකයේ වටිනාම දේ තමයි වායුව. ඒ වගේම ජලය ගැන නව නිර්ණායක ඇවිත් තිබෙනවා. පස පිළිබඳවත් නව නිර්ණායක ඇවිත් තිබෙනවා. සමාජ සාධනිකත්වය ගැන කතා වෙනවා. ඒ වගේම ලෝකයේ සංතෘප්තතාවය ගැන අද කතා වෙනවා. අපි එහෙම නව සාකච්ඡුාවක් කළොත් අපිට අපි මත පදනම් වෙලා ලොකයේ හොඳම රට විය හැකියි.

පත්කළ මන්තී‍්‍ර රංජිත් බණ්ඩාර මහතා –

විශ්වය අද එකම ගම්මානයක් වෙලා. අපේම ක‍්‍රමයක් ගැන හොයන්න ගිය සමහර අය අනාථ වෙලා තිබෙනවා. මානව කේන්ද්‍රීය ආර්ථිකයක් අපි ඇති කළ යුතු වෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment