පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව අද සටනට

267

ශකීබ් සහ අසිත කණ්ඩායම් දෙකට එක් වන ලකුණු!

බංග්ලාදේශයට එරෙහිව පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (30 වැනිදා) බංග්ලාදේශයේ චැතගොම්හි සහූර් අහමඞ් චෞද්රි ක්‍රීඩාංගණයට පියවර තැබීමට නියමිතය.

දෙරට අතර ටෙස්ට් තරගාවලියේ තීරණාත්මක දෙවැනි ටෙස්ට් තරගය අද (30 වැනිදා) උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිත අතර එම තරගය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට 2-0 ක පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් හිමි වේ.

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජයග්‍රහණය කළ අතර ඒ අනුව මෙම තරගය ජයගතහොත් ලෝක ශූරතා ටෙස්ට් ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් ඉදිරියට යෑමට ද ශ්‍රී ලංකාවට හැකියාව ලැබේ. එපමණක් නොව ජයග්‍රහණයකින් මෙම තරගාවලිය නිමා කරගත හැකි වුවහොත් ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ද පියවරක් ඉදිරියට පැමිණීමට ද ශ්‍රී ලංකාවට හැකියාව ලැබේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ වන ටෙස්ට් තරග 25ක් පවත්වා ඇති අතර ඉන් තරග 19ක ජය ශ්‍රී ලංකාවට හිමි වෙද්දී බංග්ලාදේශය ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. තරග 5ක් ජය පරාජයන් තොරව නිමාවට පත් වී ඇත. අවසන් වරට 2022 වසරේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති ටෙස්ට් තරගාවලියෙන් ද තරග 1-0ක ජයක් ශ්‍රී ලංකාවට හිමි විය.

පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය චැතගොම් තණතීරුව තුළ කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් බවට පත් විය හැකි අතර පසුගිය 2018 වසරේදී චැතගොම් තණතීරුවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අසාදු ලකුණු එක් කිරීමට ද කටයුතු කර තිබුණි. එම වසරේදී ශ්‍රී ලංකාව සමඟින් පැවැති තරගයේදී පන්දු යවන්නන්ට දැඩි සහයක් එම තණතීරුවෙන් හිමිවීම මත අසාදු ලකුණු එකතු කෙරිණි.

ඒ අනුව චැතගොම් තණතීරුවේ වැඩිම කඩුලු ලාභියා වන සකීබ් අල් හසන් මෙහි දී බංග්ලාදේශ කණ්ඩායම සමඟින් එක්වුවහොත් එය ඔවුන්ට අමතර ශක්තියක් සපයනු ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වීමෙන් පසු ශකීබ් ක්‍රීඩා කරන පළමු ජාත්‍යන්තර තරගය ද මෙය වේ.

පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව අද සටනට

ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශයේ ද වෙනස්කමක් හෝ දෙකක් සිදු වීමේ යම් ඉඩක් පවත්නා බව ද දැනගන්නට ඇත.

එසේම කසුන් රාජිත ආබාධයකට ගොදුරු වී තිබීම නිසා ඔහු වෙනුවට අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වීමේ ඉඩක් පවතී. කෙසේ වෙතත් දඟ පන්දු යවන්නන්ට වඩාත් උචිත චැතගොම් තණතීරුව තුළ ප්‍රභාත් ජයසූරියට වැඩි බරක් පැටවෙනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව අමතර දඟ පන්දු යවන්නකු සමඟින් මෙම තරගයට පිවිසීමේ යම් ඉඩක් තිබේ.

කෙසේ වෙතත් හදිසියේම බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පෞද්ගලික කරුණක් හේතුවෙන් මෙම තරගයෙන් ඉවත්වී ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑම නිසා සහාය පුහුණුකරු නික් පොතාස්, මෙම තරගයේදී ප්‍රධාන පුහුණුකාරීත්වයේ වගකීම් දරනු ඇත.

ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් දිමුත් කරුණාරත්න, නිමා වූ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී යම් සාර්ථකත්වයක් ළඟා කර ගත්ත ද පළමු ඉනිමේ අසාර්ථක වූයේය. එසේම නිෂාන් මධුෂ්ක සහ කුසල් මෙන්ඩිස් ද මීට වඩා සංයමයකින් තම ඉනිම ගොඩනැගීම අත්‍යවශ්‍ය සාධකයකි.

ඊට අමතරව දිනේෂ් චන්දිමාල්ගෙන් සහ ඇන්ජිලෝ මැතිව්ස්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මීට වඩා දෙයක් බලාපොරොත්තු වේ.

කෙසේ වෙතත් පළමු තරගයේදී කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා ඉනිම් දෙකේදීම ශතක රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල දායකත්වයක් දැක්වූහ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment