නුවණ ලැබදෙන නුවණට අධිපතිගනේෂ්

149

හින්දු භක්තිකයන්ගේ මහත් වූ පුද පූජාවනටත් ගෞරවයටත් බඳුන්වන හින්දු දේව පුරාණයේ එන දෙවි කෙනෙකි ගණ දෙවිඳුන්. අන් දෙවි දේවතාවුන්ට සාපේක්ෂව විශේෂ මුහුණකට හිමිකම් කියන ගණ දෙවිඳුන් පර්යාය නාමයන් රැසකින් හඳුන්වනු ලබයි. ඒ අතර ගණපති, ගණාධිරාජා, විනයාගර්, ගනේෂ්, විග්නේෂ්වරන්, පුල්ලෙයාර් සාමි, විනායක, විෂ්ණරාජා, ගණදීපන්, චක්‍රතුන්ඩන් මූලිකය. ශිව දෙවිඳුන්ගේ හා උමයංගනා දේවියගේ පුතුන් දෙදෙනා අතුරින් දෙටු පුත් වූ ගනේෂ ස්කන්ද දෙවියන්ගේ සොහොයුරා වේ.

සියලු දෙවිවරුන්ට සාපේක්ෂව විශේෂ රූපයකට හිමිකම් කියන ගණ දෙවිඳුන් විශාල උදරයකටත් බාහු සතරකටත් ඇත් හිසකින් යුත් මිනිස් සිරුරකටත් හිමිකම් කියයි. මෙහිදී ඇත් හිසේ විශේෂත්වය වනුයේ එක් දළයක් කැඩී කෙටි වීමයි. ගණ දෙවිඳුන් සතු අත් සතරින් දකුණුපස මුල් අතෙහි අංකූශයක් ද දෙවන අතෙහි දළ කැබැල්ලක් ද වම්පස මුල් අතෙහි රැහැනක් ද දෙවන අතෙහි කැවුමක් ද වේ.

ගණ දෙවි උපත සම්බන්ධව කතා වස්තු කීපයකි. එයින් බහුතර පිළිගැනීම හින්දු දේව කතා පුරාණයට අනුව එන කතා පුවතයි. එය මෙසේය. ගණ දෙවිඳුන්ගේ පියා වූ ශිව දෙවිඳුන් දැන සිටි වටිනා බලගතු මන්තරයක් දැනගැනීමට පැමිණි බ්‍රහ්මයන් එය ශිව දෙවිඳුන් වෙතින් ඉගෙනගත් පසු ශිව දෙවිඳුන් විනාශ කර ශිව දෙවිඳුන්ගේ භාර්යාව වූ උමයංගනාවන් විවාහ කර ගැනීමට සිතක් පහළ වී ශිව දෙවිඳුන් මරා දැමීමේ අදහසින් තමා ඉගෙනගත් මන්ත්‍රය අත්ලට මතුරා ශිව දෙවිඳුන් ලුහුබැඳීය. ශිව දෙවිඳුන් ද බ්‍රහ්මයන්ගෙන් බේරීමට පසු නොබලා දිව ගියේය. මෙය දුටු විෂ්ණු දෙවිඳුන් සුරූපී කාන්තා රුවක් මවා ඔවුන් දිව එන මාර්ගයේ ගසක් මුල වාඩිවී සිටියහ. මුලින්ම ශිව දෙවිඳුන් මෙම සුරූපිනිය දුටුව ද මරණ බිය කරණකොට නොනැවතුන නමුත් පසුපසින් හඹා පැමිණි බ්‍රහ්මයන් මෙම සුරූපිනිය දැක විවාහ යෝජනාවක් ඉදිරිපත් කළේය. එයට එකඟ වූ සුරූපිනිය සපථයක් ඉල්ලීය. ඒ තමාව කිසි දිනක තනිකර දමා නොයන බවට තම අතම තමාගේ හිස මත තබා දිවුරන ලෙසය. සුරූපිනියට වසඟව සිටි බ්‍රහ්මයන්ට සියල්ල අමතක වී කොටින්ම තමන් විෂ මන්තරයක් තමාගේ අතට මතුරා ඇති බව ද අමතක වී තම හිස මත තම අත තබා සපථය කළේය. එසැණින් විෂ මන්තරය හේතුවෙන් බ්‍රහ්මයන් අළු වී ගියේය. මේ අතර බ්‍රහ්මයන් තමා ලුහුබඳින්නේ නැති බව වැටහුණු ශිව දෙවිඳුන් ආපසු හැරී පැමිණෙන විට ඔහු ද, සුරූපිනියකගේ රුව මවාගත් ගසක් මුල වාඩිවී සිටින විෂ්ණු දෙවිඳුන් දැක ඔහු ද පෙර බ්‍රහ්මයා සේම සුරූපිනියට වසඟ වී ඇය විවාහ කර ගැනීමට ඇයට ආරාධනා කළේය. එවිට ඇය ශිව දෙවිඳුන්ට පවසා සිටියේ ඇයට දාව දරුවන් සත්දෙනෙක් සිටින බවත් එම දරුවන් සත්දෙනා සමග ඇයව ද භාරගත යුතු බවය. එපමණක් නොව මෙම විවාහය සඳහා උමයංගනා දේවියගේ අවසරය ද ලබාගත යුතු බව පැවසිය. මින් අනතුරුව ශිව දෙවිඳුන් උමයංගනාව එම ස්ථානයට කැඳවූ විට උමයංගනාව එම දරුවන් සත්දෙනාටම ආදරය කළ අතර ඔවුන්ව අල්ලා වැළඳ ගැනීමට යෑමේදී දරුවන් සය දෙනෙක් පමණක් අත් දෙකට අසු වූ අතර එක් දරුවෙක් පමණක් ඉතිරි විය. එම දරුවන් සයදෙනාට එක සිරුරක් පමණක් හිමිව තිබූ අතර මුහුණු සයක් හා අත් දොළසක් විය. ඔහු ස්කන්ද කුමරු නම් වූ අතර ඉතිරි වූ දරුවා ගණ දෙවිඳුන් ලෙස හඳුන්වයි.

ගණ දෙවිදුන්ට ඇත් මුහුණක් හිමි වූයේ කෙසේද යන වගට ද කතා පුවත් කීපයකි. ඒ අතර කතා දෙකක් ජනප්‍රිය ය. ඉන් එක් කතා පුවතක් මෙසේය. සෙල්ලකතරගම ඇල්හේනේ වැදි කුමරියක්ව සිටි වල්ලිය සරණපවා ගැනිමට කැමැති වූ කතරගම දෙවිඳුන් ඒ බව වල්ලි දේවියට ප්‍රකාශ කළ ද ඇය ඊට අකමැති විම හේතුවෙන් වල්ලි කුමරිය බිය වැද්දවීමට ගණ දෙවිඳුන් ඇත් මුහුණක් මවාගත් බවත් ඉන් අනතුරුව වල්ලි කුමරිය බියගන්වා ස්කන්ධ කුමරුන්ට කැමති කරවා ගත් බවත් සඳහන්ය. එහිදී ගණ දෙවිඳුන් මවාගත් ඇත් මුහණ වෙනස් කිරීමට නොහැකි වීමෙන් සදා කාලයටම ගණ දෙවිඳුන්ට ඇත් මුහුණම හිමි වූ බව කියැවේ.

තවත් කතා පුවතකට අනුව ඇත් හිසක් ගණ දෙවිඳුන්ට ඇති වූයේ මෙසේය. එක් දිනක් සහෝදරයන් වූ ස්කන්ධ හා ගනේෂ අතර තරගයක් ඇති විය. එය කරදිය වළල්ල වටා දිවීමය. මෙහිදී ස්කන්ද කුමරුන් තම මයුර වාහනය මත නැගී කරදිය වළල්ල වටා දිවීම ඇරඹී අතර ගනේෂ ද තම වාහනය වූ මුෂිකයා පිට නැගී නිවස තුළට ගොස් මුළුතැන්ගෙයි වූ ලුණු පොල්කටුව වටා ගියේය. ඉතා වේගයෙන් කරදිය වළල්ල වටා දිවූ ස්කන්ද කුමරු ජයග්‍රාහී ලිලාවෙන් නිවසට පැමිණියේ තම සොහොයුරා පරාජය කළා යැයි සිතාගෙනය. නමුත් ගනේෂ තමන් ජයග්‍රාහකයා බවත් ස්කන්ද කුමරුන් පරාද වූ බවත් පැවසූ විට ගනේෂයන් කළ කපටි ක්‍රියාවේ සියලු තතු දත් ස්කන්ද කුමරු කෝපයෙන් ගනේෂයන්ට ගැසූ පහරින් ගනේෂයන්ගේ හිස කඳින් වෙන්වී ගියේය. මෙය දුටු උමයංගනාව දරු සෙනෙහසින් හඬා වැළපෙන්නට වූයෙන් ශිව දෙවිඳුන් සේවකයකු ගෙන්වා තමාට මුලින්ම හමුවන තැනැත්තාගේ හිස ගෙනැවිත් දෙන ලෙස නියෝග කළේය. මේ අනුව ඔහුට මුලින්ම හමුවුයේ ඇතකු බැවින් හෙතෙම ඇතාගේ හිස ගෙනැවිත් දුනි. ශිව දෙවිඳු ඇත් හිස ගනේෂයන්ගේ කඳට බද්ද කළ විට ගනේෂයන්ට යළිත් පණ ලැබුණි. මේ අනුව ගනේෂයන්ට ඇත් මුහුණක් හිමි විය.

ගණ දෙවිඳුන් හට අවතාර 18 ක් හිමිය. මෙම අවතාර 18 සඳහා වෙන වෙනම මූර්ති ද වේ. නමුත් වර්තමානය වනවිට ශේෂව ඇත්තේ මූර්ති 10 ක් පමණි. කෙසේ මුත් ගණ දෙවිඳුන්ගේ අවතාර 18 මෙසේය

  1. සිද්ධ ගනේෂ
  2. ශක්ති ගනේෂ
  3. වීර ගනේෂ
  4. බාල ගනේෂ
  5. වල්ලභ ගනේෂ
  6. මහා ගනේෂ
  7. භේරම්භ ගනේෂ
  8. ධරනී ගනේෂ
  9. නෘත්‍ය ගනේෂ
  10. බුද්ධි ගනේෂ
  11. විද්‍යා ගනේෂ
  12. භද්‍ර ගනේෂ
  13. සත්‍ය ගනේෂ
  14. ලක්ෂ්මි ගනේෂ
  15. ස්කන්ද ගනේෂ
  16. කාල ගනේෂ
  17. චන්ඩි ගනේෂ
  18. භක්ති ගනේෂ

ගණ දෙවි පිහිට හුදෙක් ඥාන වර්ධනයට පමණක්ම හේතු නොවේ. ඉන් පරිබාහිරව ස්වභාවික විපත්වලින් ආරක්ෂාවට, සැප සම්පත් ගෙන දීමට, ග්‍රහ අපලවලින් ආරක්ෂාවට, අණවින බන්ධනවලින් ආරක්ෂාවට, ආදරවන්තයන් මෙන්ම යුවතිපතින්ගේ ආරක්ෂාවට, අසාධාරණකම්වලින් ආරක්ෂාවට මෙන්ම ගැඹුරු ශාස්ත්‍රයන් පහසුවෙන් අවබෝධ වීම ආදී කොට ඇති බොහෝ දේ උදෙසා ගණ දෙවිඳුන් පිහිට වන බව පිළිගැනේ.

ගණ දෙවි අවතාරවලට හිමි මූර්ති ඉහත ආකාරයෙන් නාමිකව හැඳින්වුව ද ඒ අතුරින් වර්තමානයේ බහුලව භාවිතා වන්නේ ශාන්ත රූපය සහිත මහා ගනේෂ මූර්තිය හා රන්, රිදී, මුතු, මැණික් ආදී සර්ව ආභරණයෙන් බබළන බුද්ධි ගනේෂ මූර්තියයි. මෙම ගණ දෙවි රූපවල එක් දළයක් කැඩී ඇති අතර ගණ දෙවිඳුන්ගේ වාහනය වූ මීයා ද අසලින් සිටිනු දැකිය හැක. මෙහිදී මීයා මගින් විමසිලිමත් කඩිසර බව නිරූපණය වන අතර එක දළයක් කැඩීම මගින් ගණ දෙවිඳුන් යුක්තිය වෙනුවෙන් සටන් කරන බව විදහා පායි. එසේම සර්ව ආභරණයෙන් සෞභාග්‍යයත් සශ්‍රිකත්වයන් මූර්තිමත් වේ.

සාමාන්‍යයෙන් ගණ දෙවි පූජාව සඳහා පුර පක්ෂය තෝරා ගන්නා අතර ගණ දෙවිඳුන් වෙතින් පිහිට පැතීම සඳහා ශාන්ති කර්මවලට අතිරේකව යන්ත්‍ර මන්ත්‍ර ආදිය ද යොදා ගනී. විශේෂයෙන් ගණ දෙවි පූජාව පිරිසිදුව, කිලි කුණු ආදියෙන් තොරව, නිර්මාංශව පේවී සිදු කළ යුතුය. ගණ දෙවි පූජාවකදී නිවස සෝදා පිරිසිදු කර කහ දියර ඉස නිවසේ හරි මැද ගණ දෙවි රූපයක් තැන්පත් කර පූජාව තැබිය යුතුය. ගණ දෙවිඳුන් උදෙසා පූජා වට්ටිය සකස් කිරීමේදී පූජා වට්ටිය පතුලට බෙලි කොළ ඇතිරිය යුතු අතර දිවුල්, අඹ, අන්නාසි, කෙසෙල් ප්‍රමුඛ පලතුරු 7 වර්ගයක් ගෙඩි පූජාව ලෙස තැබිය යුතුය. එසේම කැවුම්, අග්ගලා, පැණි වළලු සහිත කැවිලි වර්ග 7 ක් ද තබා ලදපස්මල් වන විලඳ, සුනු සහල්, එල අබ, ඊතණ, සමන් පිච්ච කැකුළු ආදිය තැබිය යුතුයි. තවද සීනි, පැණි, මිදි, හකුරු ආදිය මිශ්‍ර රසවත් කිරිබතක් ද පූජා වට්ටියටම තැබිය යුතු අතර සුවඳ දුම් වර්ග ලෙස කපුරු හඳුන්කූරු ආදියෙන් ද අඹ, දඹ, රඹ, ඇටිකෙසෙල්, මිදි, බොරළු දං, ඕලු, මී ආදී අෂ්ටපානයන්ගෙන් ද එම පූජා වට්ටිය සමන්විත විය යුතුය. එපමණක් නොව රතු පැහැති මල්දමක් ද පූජා වට්ටිය උඩින් තබා මහත් වූ ගෞරවයෙන් භක්තියෙන් ගණ දෙවියන්ට පිදිය යුතුය.

මහානුභාව සම්පන්න ගණ දෙවි පූජාව ඔබත් භක්තියෙන් ගෞරවයෙන් පිරිසිදුව නිවැරදිව සිදු කර ගණ දෙවි පිහිට ලැබ ගන්න. ගණ දෙවි පූජාවකින් ලද හැකි ඵල ඔබට ප්‍රායෝගිකව අත්විඳ මෙහි ඇති සත්‍ය වටහා ගන්න. එසේම ගණ දෙවිඳුන් උදෙසා පහන් තැබීම රාත්‍රී 10.47 සිට 11.11 දක්වා සිදු කරන්න. ඔබත් ගණ දෙවියන්ට පහන් තබා පිහිට යදින සෑම අවස්ථාවකම ඔබ සිදු කළ සුළු හෝ පිනක් සිහිපත් කර ගණ දෙවිඳුන්ට ඒ පින් අනුමෝදන් කරන්න. ඔබගේ නැණ ගුණ දිනෙන් දින වර්ධනය වනු ඒකාන්තය.

නුවණ ලැබදෙන නුවණට අධිපතිගනේෂ්

ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment