මරණ හේතුවෙන් මෙක්සිකෝවේ රූපලාවන්‍ය සායන දෙකක් වසයි

250

මෙක්සිකෝවේ රූපලාවන්‍ය සැත්කම් සායන දෙකක සිදු කෙරුණු සැත්කම් අතරතුර දිලීර වර්ගයක් පැතිරීමෙන් සැත්කම්වලට ලක්වූවන් දෙදෙනකු මිය යෑම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන්නැයි ඇමරිකානු හා මෙක්සිකෝ සෞඛ්‍ය බලධාරීන් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙක්සිකෝවේ රූපලාවන්‍ය සැත්කම් සිදු කළ වෛද්‍ය සායන දෙකක සැත්කමට ලක් වූවන් නිර්වින්දනය කිරීම සඳහා ලබා දුන් ‘එපිඩියුරල්’ නිර්වින්දන එන්නත හරහා ශරීරගත වූ දිලීරයක් හේතුවෙන් දෙදෙනකු මෙනින්ජයිටිස් රෝගයට ගොදුරු වී මිය යෑම මෙම ඉල්ලීම සිදු කිරීමට හේතු වී තිබේ. මෙම මරණ සිදු වූ මෙක්සිකෝවේ මැටමොරොස් නගරයේ පිහිටි රූපලාවන්‍ය සැත්කම් සිදු කරන සායන දෙකක් මෙම තත්ත්වය මත වසා දැමීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. ඇමරිකානු රෝග පාලනය හා නිවාරණ මධ්‍යස්ථානයට අනුව වසා දැමුණු සායනවලින් රූපලාවන්‍ය සැත්කම් සිදු කරගත් ඇමරිකානු හා මෙක්සිකෝ ජාතිකයන් 400ක් දෙනා සෞඛ්‍ය අංශ විසින් අධීක්ෂණයට ලක් කර තිබේ. ඇමරිකානු හා මෙක්සිකෝ සෞඛ්‍ය බලධාරීන් විසින් මහජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ යමෙකු මෙක්සිකෝවේ වසා දමා ඇති රිවර් සයිඩ් සැත්කම් මධ්‍යස්ථානය හෝ ‘ක්ලිනිකා – කේ 3’ යන රූපලාවන්‍ය සායනවලදී ඉකුත් ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ එපිඩියුරල් නිර්වින්දන එන්නත් භාවිත කළ රූපලාවන්‍ය සැත්කම්වලට ලක් වූයේ නම් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළද විමසිල්ලෙන් සිටින ලෙසයි. ඇමරිකානු රෝග පාලනය හා නිවාරණ මධ්‍යස්ථානයට අනුව එම වෛද්‍ය සායනවලදී සැත්කම්වලට ලක් වූ වෛරස් මෙනින්ජයිටිස් රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඇමරිකානු ජාතිකයන් 25 දෙනකු මේ වන විට හඳුනාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment