විපතින් රට මුදා ගැනීමට විපක්‍ෂයේ පූර්ණ සහාය රජයට ලබා දෙනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

149

නියඟය නිසා පානීය ජලය මෙන්ම ගොවිතැන් පාළු වෙමින් පොදු ජනතාවගේත් ගොවි ජනතාවගේත් ජීවනෝපාය අහිමිවී ගුරුවරු, විශේෂඥ වෛද්‍යවරු රට හැර යමින්, රෝහල් ශල්‍යකර්ම පවා කල්දමා පත්ව තිබෙන මේ විපත්තිදායක තත්ත්වයෙන් රට මුදා ගැනීමට තනතුරු නැතිව විපක්‍ෂයක් ලෙස රජයට පූර්ණ සහය ලබාදෙන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.

ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයේ මෙසේද දැක්වේ.

මේ මොහොත වන විට අප රටේ භයංකාර ආර්ථික සමාජීය විනාශයක් සිදුවෙමින් පවතින බවත් මේ මොහොත වන විට පවුල් 60000 කට ආසන්න ප්‍රමාණයකට පිරිසිදු පානීය ජලය අහිමිවී ඇති බවත් හෙක්ටයාර ලක්‍ෂ ගණනින් වගා බිම් නියඟය නිසා විනාශවී ඇති බවත් එසේම ගොවි ජනතාව ඇතුළු සමස්ත වැඩකරන ජනතාවගේ ජීවනෝපාය අහිමිවෙමින් පවතින බවත් විපක්‍ෂ නායකවරයා පැවැසීය.

පාසල් ගුරුවරු 5000 කට ආසන්න ප්‍රමාණයක් සහ විශේෂඥ වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් රට හැර ගොස් ඇති බවත් මේ හේතුවෙන් රෝහල්වල වාට්ටු වැසී ශෛල්‍යකර්ම පවා කල්දමා ඇති බවත් මේ තත්ත්වයෙන් රට මුදා ගැනීමට නම් ජාතික එකමුතුවෙන් සහ ඒකාග්‍රතාවයෙන් යුත් ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්‍ෂ නායකවරයා පැවැසීය.

රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩගැනීමට රජයට වැඩපිළිවෙළක් ඇත්නම් විපක්‍ෂයක් ලෙස සියලු දෙනා එක්ව උපරිම සහයෝගය ලබාදීමට කැමැති වුවත් එවැනි වැඩපිළිවෙළක් වත්මන් රජයට නොමැති බවත් රජය සිදුකරන දේශපාලන සූදූවලින් වැළකී රට ගොඩගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් රජයට ඒ සඳහා දැනුමක් නැත්නම් විපක්‍ෂය සතු දැනුම මානව සම්පත් ඒ සඳහා ලබාදීමට කැමැති බවත් විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රට වැටී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment