කුකුල් නින්දෙන් පාඩුව ලක්ෂ 03යි

617

බ්‍රොයිලර් වර්ගයේ කුකුළන් ප්‍රවාහනය කළ කැබ් රථයක රියදුරාට නින්ද යාම හේතුවෙන් අද (28දා) අළුයම සිදු වූ අනතුරකින් එහි කුකුලන් 300කට අධික ප්‍රමාණයක් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

අනුරාධපුර ත්‍රීකුණාමලය ප්‍රධාන මාර්ගයේ අනුරාධපුර නුවර වැව සොරොව්ව වංගුව ආසන්නයේදි අනතුර සිදුව තිබෙන අතර අලුයම තුනට පමණ කැබ් රථයේ රියදුරට නින්ද යාම නිසා රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලි තිබුණි.

මෙම අනතුර හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් සංඥා පුවරු දෙකකට හා බෝක්කු කණු කීපයකට අලාභ හානි සිදුව ඇති අතර එම අලාභයන් තක්සේරුකර ගෙවා දැමූ පසු අත්අඩංගුවට ගත් රථය මුදා හරින බව පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ පිටුපස කොටසේ කූඩු වල රදවා සිටි බ්‍රොයිලර් කුකුලන් 700ක ප්‍රමාණයක් ප්‍රවාහනය කර තිබෙන අතර එයින් 300කට වැඩි කුකුළන් ප්‍රමාණයක් මරණයට පත්ව තිබුණි.

රථය අනතුරට පත්විමත් සමග කුකුලන් රදවා සිටි කුඩු කැඩී ගොස් තිබු අතර දිවි බේරුණු කුකුලන් ඉන් ඉවතට පැන නුවර වැව වැව් බැම්ම දිගේ දිව ගිය බව පරික්ෂණ සදහා පැමිණි රථ වාහන පොලිස් නිලධාරින් පැවසූහ.

රථයේ පැමිණි පුද්ගලයන් විශාල පරිශ්‍රමයක් යොදා වැව් බැම්ම දිගේ දිවගිය කුකුලන් නැවත අල්ලා කූඩු තුලට දැමීමට කටයුතු කරන ලදි.

අනතුර නිසා කුකුලන් 300කට අධික පිරිසක් මියයාම නිසා කුකුළු ගොවිපලේ හිමිකරුට රුපියල් තුන් ලක්ෂයකට වඩා අධික පාඩුවක් සිදුව ඇති අතර අනතුරෙන් පසුව අසල් වැසියන් අනතුර සිදුවු ස්ථානයට පැමිණ පොරකමින් කුකුලන් රැගෙන යන අයුරු දැක ගත හැකි විය.

advertistmentadvertistment
advertistmentadvertistment